Wednesday, December 18, 2013

අගමැතිට අපහාස කලාට මහා සංඝරත්නය කිපෙයි

මත්කුඩු  ජාවාරම්වලට අග්‍රාමාත්‍යතුමා කිසිසේත් සම්බන්ධ නොමැති බව, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර ස්වාමීන්වහන්සේ පවසති.  ''පටු අරමුණු ඔස්සේ අග්‍රාමාත්‍යතුමාට චෝදනා එල්ල කිරීම වැරදියි.  එය අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.  අග්‍රාමාත්‍යතුමා මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රතික්ෂේප කරන රටේ ඉහළම නායකයෙක්.  යම් කිසිවකු අග්‍රාමාත්‍යතුමාගේ චරිතය කැළැල් කිරීමට උත්සාහ කරන්නේ නම් අපි ඊට ඉඩ නොදෙමු.  1945 සිට මා අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික හා දේශපාලනික ජීවිතය දන්නවා. 
රට මත්ද්‍රව්‍ය උවදුරින් ගලවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා ආගමික හා ආධ්‍යාත්මික පාර්ශවයෙන් විශාල වැඩකොටසක් ඉටුකරමින් සිටී.  එම කර්තව්‍යයන්ට උදව් කිරීම වෙනුවට ඊට අකුල් හෙලීම යම් කිසි පාර්ශවයක් විසින් සිදු නොකළ යුතුය''  උන්වහන්සේ ප්‍රකාශ කරති.


   
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.  
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, සිය මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මතින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා කටයුතු කරමින් සිටින මෙම අවධියේ එවැනි අපවාද සහ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කිරීම අප සැමගේ යුතුකම වන බව කී උන්වහන්සේ, මෙසේද පැවසූහ අග්‍රාමාත්‍යතුමා මේ සඳහා ලිපියක් හෝ නිකුත් කර නොමැති බවත්, සම්බන්ධීකරණ ලේකම්වරයකු ඊට සම්බන්ධ බවට මත පළවන බවත් සඳහන් කළ උන්වහන්සේ, ඒ පිළිබඳ මේ වන විට අදාළ පුද්ගලයන්ගෙන් කටඋත්තර ගෙන පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවත් කියා සිටියහ.

 
ධර්මරශ්මි පදනමේ සභාපති, පූජ්‍යපාද ගලගම ධම්මරංසි හිමිපාණෝ එහිදී අදහස් දක්වමින් මෙසේ සඳහන් කළහ.  ''අග්‍රාමාත්‍යතුමා, වත්ම‍න් රජයේ පැවැත්ම උදෙසා විශාල මෙහෙවරක් කළ අයෙක්.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම රජය රැක ගැනීම සඳහාත් එතුමා මහත් වීර්යයෙන් යුතුව ක්‍රියා කරනවා. . අග්‍රාමාත්‍යතුමා කෙරෙහි පවතින වෛරයක් නිසා එතුමාගෙන් පළිගැනීම උදෙසා මෙවැනි චෝදනා කරන බව කවුරුත් දන්නවා. නමුත්, එම චෝදනා හමුවේ අග්‍රාමාත්‍යතුමා කිසිසේත්ම සලිත වන්නේ නැහැ.  මත්ද්‍රව්‍ය කටයුතු සම්බන්ධයෙන් යම් වරදක් සිදුව තිබේනම් එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම අදාළ වගකිව යුතු අංශ විසින් ඉටු කරනු ඇති. නමුත් ඇතැම් දේශපාලනික පක්ෂ පටු අරමුණු ඔස්සේ ක්‍රියා කරමින් අග්‍රාමාත්‍යතුමාගේ කීර්තිනාමය කෙලෙසීම සඳහා විවිධ චෝදනා එල්ල කරන බව දක්නට ලැබෙනවා.  එම චෝදනා සියල්ලම අප තරයේ ප්‍රතික්ෂේප කරන අතර, මෙහි යථාර්ථය නුදුරේදීම එලිකිරීමට අදාළ අංශ කටයුතු කරන බවද මෙහිදී මම අවධාරනය කරනවා.  ''
 


ගංගොඩවිල, පුෂ්පාරාම විහාරාධිපති, පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ අදහස් දක්වමින් .වර්තමානයේ දී සිංහල ජාතිය මත්ද්‍රව්‍ය කරා ඇබ්බැහි කරවීමේ කටයුතු  බහුලව සිදුවන බව දක්නට ලැබෙන  නිසා සෑම කෙනෙකෙුම  බුද්ධිමත්ව ක්‍රියා කළයුතු කාලයක් එළඹ තිබෙන බව පැවසූහ. අග්‍රාමාත්‍යතුමාට ඉල්ලා අස්වීමට කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ.  එතුමා මේ සම්බන්ධයෙන් කිසිදු වරදක් සිදුකොට නෑති බව උන්වහන්සේ පැවසූහ..  ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති ගරු සරත් හෙට්ටිආරච්චි පියතුමා එහිදී අදහස් දක්වමින්
මත්ද්‍රව්‍ය ජාවාරම් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිම සඳහා රජය විශාල පියවරක් ගෙන ඇති අතර, එහි නීතියේ සිදුරු වලින් පැන යාමට කිසිවකුටත් ඉඩ නොදීමට මේ රජය කටයුතු කරන බව කීය..  නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා උදව් කිරීම අප සියල්ලන්ගේම වගකීමක්.  මෙම උවදුර රටින් තුරන් කිරීම අපගේ වගකීම බවද පියතුමා කීවේය. ''දි.මු. ජයරත්න වැනි උතුම් චරිතයක් අපකීර්තියට පත් කිරීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.  දි.මු. ජයරත්න චරිතය, රට වෙනුවෙන් කැප වූ, රට වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදුන් චරිතයක්.  ශ්‍රී ලංකාව වෙනුවෙන් එතුමා කළ මෙහෙවර වෙනුවෙන් අප එතුමාට කෘතවේදී වනවා '' සරත් හෙට්ටිආරච්චි පියතුමා තවදුරටත් සඳහන් කළේය.


මෙහිදී ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, ආචාර්ය සෙයියරසන් මවුලවී තුමා අදහස් දක්වමින් '' ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මතට තිත තබපු නායකයෙක්.  එතුමාගේ නායකත්වයෙන් යුතු මෙම රජයේ  අග්‍රාමාත්‍යතුමාට විවිධ චෝදනා නැගීම සාධාරණ නැහැ.  රටට හිතකර, රටට ආදරය දක්වන නායකයන්ට නිතරම චෝදනා එල්ල වනවා.  නමුත්අග්‍රාමාත්‍යතුමා නිවැරදි පුද්ගලයෙක් ලෙස අද සමාජයේ බොහෝ දෙනෙක් තරයේ විශ්වාස කරනවා.  '' යැයි කීය
 


ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, බාබුෂර්මා කුරුක්කල්තුමා අදහස් දක්වමින්
''අග්‍රාමාත්‍යතුමා වැනි නිර්මල චරිතයකට හානි පමුණුවීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.  අගමැතිතුමාගේ චරිතයට බොහෝ දෙනෙකු ගරු කළත්, ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ එතුමාට හානි කරමින් එතුමාගේ පුද්ගල චරිතය ඝාතනය කිරීමට . නමුත් ජනාධිපතිතුමාට සහාය දක්වමින් වසර 60කට අධික දේශපාලනික මෙහෙවරක නිරත වන අග්‍රාමාත්‍යතුමාට කිසිදු තර්ජනයක්, කිසිදු අගතියක් සිදු නොවන බව අප තරයේ විශ්වාස කරනවා.''යැයි බාබුෂර්මා කුරුක්කල්තුමා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment