පෞද්ගලික විශ්වවිද්‍යාල පනත

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කරනවා
පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සම්බන්ධව මේ දක්වා නිශ්චිත ආයතන ව්‍යූහයක් පිහිටුවා නොතිබූ අතර එම අඩුව සම්පූර්ණ කිරීමට පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ''නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය'' අණාවරණය කරයි.  (20) පෙරවරුවේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මධ්‍ය සාකච්ඡාවකදී මේබව හෙළිකළේය.

එම ව්‍යාපාරය නියෝජනය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූයේ, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය දේවක පුංචිහේවා, ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අචාර්ය රොහාන් ප්‍රනාන්දු, ලංකා ගුරුසේවා සංගමය නියෝජනය කරමින් ලාල්කුමාර, පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහි සංවිධානයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් මෙයට සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ පූජ්‍ය අමිල හිමියන් ප්‍රකාශ කළේ, ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කරන බව කීවද එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවය. 1977 විවෘත ආර්ථීකය හදුන්වාදීමත් සමග කන්නන්ගර මැතිතුමා හදුන්වාදුන් නිදහස් අධ්‍යාපනය අහෝසි කර අධ්‍යාපනය වාණිජ භාණ්ඩයක් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව හෙළි කළේය. මේ නිසා අද වනවිට ගුණාත්මක දැනුම හීන වූ පරපුරක් බිහිවී ඇති බව සඳහන් කළේය. ''ඉතිරිවී තිඛෙන නිදහස් අධ්‍යාපනයත් පෞද්ගලික අංශයට විකුණා දමා මුදල් ඇති අයට පමණක් අධ්‍යාපන අයිතිය ලබාදීමට යනවා. අධ්‍යපනයේ සම අයිතිය අහෝසි කර දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.'' යනුවෙන් අවධාරණය කළේය.

අමිල හිමියන්ට අමතරව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා කරුණු පැහැදිලි කළේ මෙසේය.

''රාජ්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම් දරණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමානව පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැකි කොමිසමක් පිහිටුවීම තමයි මේ පනතේ මූලිකම අරමුණ'' යනුවෙන් පැවසීය. වෛද්‍ය ඉංජිනේරු සහ කළමණාකරණ යන පීඨ 03 පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ආරම්භ කිරීමට දැනට කටයුතු කර ඇති අතර එම කොමිසම නියෝජනය කිරීමට අදාල පීඨ තුනේ සාමාජිකයින් තිදෙනෙක් සහ අමතර සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළුව සාමාජිකයින් පස්දෙනෙක්ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සභාපති ඇතුළු 06 දෙනෙකු නිල බලයෙන් පත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. එමෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ලියාපදිංචි කළ යුත්තේ සමාගම් ලියාපදිංචි කිරීමේ පනත සහ ආයෝජන මණ්ඩල පනත යටතේ බව හෙළි කළේය.

ජනමාධ්‍යවලට මුලින්ම කරුණු ඉදිරිපත් කරන්නේ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය වන අපේ මේ සංවිධානයෙන්. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දැනට යෝජනා කර තිඛෙන විධිමත් සංවිධාන ව්‍යූහයක් නැතුවයි මේ දක්වා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කි්‍රයාත්මක වූණේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රිමානුකූලව දියකර හැරීමට කටයුතු කරමින්, පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමානුකූලව ගොඩනගන්න ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අපට දැන් පැහැදිලියි. අධ්‍යාපනයට රාජ්‍ය අංශයෙන් වියදම් කළ යුතු ප්‍රමාණය යුනේස්කෝ සම්මුති වල දැක්වෙනවා. ඒ ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%කට සමාන මුදලක්  අවම වශයෙන් වාර්ෂික අයවැයෙන් වෙන්කළ යුතු බවයි යුනේස්කෝව කියන්නේ.'' එහෙත් ලංකාවේ එම ප්‍රතිපාදන වෙන් කිරීම 2004 සිට මේ දක්වා 2% සිට 2.5% අතර පවතින බව ආචාර්යවරයා හෙළි කළේය. එය කියුබාවේ 18.7%ක්, ඇමෙරිකාවේ 5.7%ක්, ජර්මනියේ 4.6%ඉන්දියාවේ 4.1%ක්, නේපාලයේ 3.4%ක්, ඉතියෝපියාවේ 4.6%ක්, සහ කෙන්යාවේ 7% වශයෙන් ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන්නේය.

මේ ලෙස නිදහස් අධ්‍යාපනය අහෝසි කර අධ්‍යාපනයේ සම අයිතිය මතු පරපුරට ලබානොදීමට විරුද්ධව දිවි පරදුවට තබා ක්‍රියාකරන බව ද පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන එන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට නොදී පරාජය කිරීම සඳහා ජනතාව සංවිධානය කරන බව එම ව්‍යාපාරය අවධාරණය කළේය.

No comments:

Post a Comment