ප්‍රෝඩාකාරී තේරීම්කාරක සභාව


 ප්‍රෝඩාකාරී තේරීම්කාරක සභාවට විරුද්ධ විය යුතුයි
උතුරේ ප්‍රශ්නය සඳහා ආණ්ඩුව විසින් යෝජනා කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රෝඩාවක් බවත් ඊට සහභාගි නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා මේ බව පැවසීය. ප්‍රෝඩාකාරී තේරීම්කාරක සභාවට විරුද්ධ විය යුතු බවද ඔහු පැවසීය. 

දෙමළ ජනතාවගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් නොකර ඔවුන්ට ඉර හඳ පෙන්වන ක්‍රියාවලියක ජනාධිපතිවරයාත් ඇතැම් දෙමළ නායකයනුත් නිරත වී සිටින බව කී අනුර දිසානායක මහතා දැන් අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා, නීති වෙනස්කම් නොව දෙමළ ජනතාවගේ ගැටලුවලට සැබෑ විසඳුම් යැයි අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"යුද්ධය අවසන් වී සතියක් ගත වෙමින් තිබියදී, 2009 මැයි 27 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ උතුරේ ප‍්‍රශ්නයට මොකක්ද කළ යුත්තේ කියා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. එහි පළමු කරුණ කොටි ත‍්‍රස්තවාදයෙන් මුදාගනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත් කඩිනමින් ගොඩනැගීම සඳහා සියලූ ජනකොටස් සහභාගී කරගැනීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ‘‘උතුරු හා නැගෙනහිර පළාත් යළි ගොඩනැගීමේ කාර්ය සාධක මණ්ඩලයක්’’ පත් කළ යුතුය කියා.

ඒ වෙලාවේ ජයග‍්‍රහණවලින් මුසපත් වෙලා, රජකමට ආවේශ වෙලා හිටියේ. දුර දැක්කේ නැහැ. යුද්ධය අවසන් වෙලා සතියක් ඉක්ම යමින් තිබියදී අපි යෝජනා කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂවල සහභාගිත්වයෙන් කාර්ය සාධක මණ්ඩලයක් පත් කළ යුතුයි කියලා. ඒ යෝජනා කළේ ව්‍යාකුළ වෙලා තිබෙන ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්න නොවෙයි. දෙමළ ජනතාවගේ ගැටලූවලට ඇත්ත විසඳුම් දෙන්න.

ආණ්ඩුව කිව්වා යුද්ධය අවසන් වෙලා අවුරුද්දක් යන්න කලින් සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා කියලා. දැන් අවුරුදු දෙකක් ගත වෙලා තිබෙනවා. තමන්ගේ ඥාතීන්, දරුවන් ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියා දැන ගැනීම මානව අයිතියක්. ඒ අයිතියට ගරු කළ යුතුයි. ඒ වගේම අවුරුදු තිහක අනවරත යුද්ධයකට යට වී සිටි ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස අවශ්‍යයි.

අද උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තිබෙනවාද? ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාට පහර දුන්නා, පසුගියදා දෙමළ ජාතික සන්ධානය සංවිධානය කළ රැස්වීමකට පහර  දුන්නා, යාපනයේ අපේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නවා,  ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්නවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපත් වටපිටාවක් නැහැ.

කයිට්ස්වල සමූහ ඡායාරූප ගන්නවා. ඒ ඡායාරූප රැගෙන ගෙවල්වලට ඇවිත් පිටස්තර කෙනෙක් හිටියොත් ප‍්‍රශ්න කරනවා. කරුණාකර එහි හමුදා පාලනය ඉවත් කර සිවිල් පාලනය ස්ථාපිත කරන්න. අපට හමුදාව ගැන තිබෙන චිත‍්‍රයට වඩා වෙනස් චිත‍්‍රයක් ඔවුන්ට තිබෙන්නේ. අද රැස්වීමක් පවත්වන්නත් හමුදා කඳවුරෙන් අවසර ගන්න වෙනවා. ඒක සිවිල් තත්වයක් නොවෙයි, හමුදා පාලනයක්."
අනුර දිසානායක මහතා 2011.12.01 දින මාධ්‍ය හමුවකදී කල කථාව

තවත් තේරීම් කාරක සභා අවශ්‍ය නැහැ. දැන් කළ යුතු වන්නේ පැනනැගී තිබෙන ගැටලූ වලට ක්‍ෂණික විසඳුම් ලබා දීමයි. මේ කල්මරණ තත්වය විසින් ඔවුන් වෙනත් තැනකට තල්ලූ කරමින් තිබෙනවා. අතීතයේදීත් සිදුවූයේ එයයි. ඒ නිසා අපි ආණ්ඩුව බල කර කියා සිටින්නේ මෙම ප්‍රෝඩාකාරී තේරීම් කාරක සභා නතර කර එම දෙමළ ජනතාව මුහුණ දී සිටින ඇත්ත ප‍්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර ගන්නයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පවසයි ඔහු මෙසේ කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය

මේ වනවිට ජාතික ගැටළුව සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා වී තිබෙනවා. මෙවැනි තේරීම් කාරක සභා සාකච්ඡුා, සම්මනත‍්‍රණ, වට මේස සාකච්ඡුා ආදී බොහෝ දේවල් සිදුව තිබෙනවා. තිම්පු සාකච්ඡුා, දිල්ලි සාකච්ඡුා ඔස්ලෝ සාකච්ඡුා, තායිලන්ත සාකච්ඡුා, ජිනීවා සාකච්ඡුා පවත්වා තිබෙනවා. ඒවා ජේ.ආර්. ජයවර්ධන මහතා, පේ‍්‍රමදාස මහත්තයා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, මහින්ද රාජපක්‍ෂ මහතාගේ යන සියලූම ජනාධිපතිවරුන්ගේ කාලවලදී ඉහත කී සාකච්ඡුා සිදුව තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමයේ සර්ව පාක්‍ෂික සමුළු, නියෝජිත සමුළු ඇති පදමට පවත්වා තිබෙනවා. දැන් අවශ්‍ය තිබෙන්නේ ඒ පිළිබඳව සාකච්ඡුා සම්මනත‍්‍රණ නොවෙයි ගැටළුවට විසඳුමක්.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව තිස්ස විතාරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සර්වපාක්‍ෂික සමුළුවක් කැඳෙව්වා. එයට ලංකාවේ සියළුම පක්‍ෂවලට ආරාධනා කරා. ඔහු සාකච්ඡුා වට 110කට ආසන්න ප‍්‍රමාණයක් පවත්වා තිබෙනවා. ඔවුන් මාධ්‍ය වෙත කියූ පරිදි ටයිප් කරන ලද පිටු 1100ක් එම සාකච්ඡුාවේ ලිඛිත තිබෙනවා. ඒ මත පදනම්ව ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කරා. එතකොට ඒ සඳහා වියදම් කරේ මේ රටේ ජනතාවගේ මුදල්. ඒ නිසා සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, තේරීම් කාරක සභා ඇති තරමට පැවැත්වී තිබෙනවා. ඒ නිසා තවත් තේරීම්කාරක සභා පත්කිරීම නිෂ්ඵල කාර්යයක්. 

මීට පෙර ආණ්ඩුව රටට ඉතා අහිතකර ජනතාවට බලපාන යෝජනා කීපයක් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර ගත්තා. 

ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේ එක් මන්තී‍්‍රවරයෙක් හැර ඉතිරි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දයෙන් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කර ගත්තා. එයින් පොලිසියේ, මැතිවරණවල, රාජ්‍ය සේවා කොමිසම සහ අධිකරණයේ ස්වාධීනත්වය රැුකීම සඳහා කොමිෂන් පත්කරා 2001 වර්ෂයේ පරිවාස ආණ්ඩුව සමයේ. රටේ යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමට හැකි 17 වෙනි සංශෝධනය අහෝසි කරමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 18 වෙනි සංශෝධනය ගෙනාවා. පොලිස් කොමිසමේ, අධිකරණ කොමිසමේ , මැතිවරණ කොමිසමේ සහ රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වයෙන් අහෝසිකරමින් තමන් අතට බලය ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. 18 ගෙන වෙලාවේදී ජනතාව සමග මන්තී‍්‍රවරු සමග කතා කළේ නැහැ. හදිසි පනත් ලෙසයි ගෙනාවේ. අඩුම තරමේ එම සංශෝධනය නිසා අගතියට පත්වන පාර්ශවවලට අධිකරණයේ පිහිට පැතීමට පවා අවස්ථාවක් නොදෙමිනුයි එය ගෙනාවේ. ඊට පසු මෑතකදී මෙරට පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සඳහා තමන්ගේ වුවමනාවට අනුව පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා. මේ රටේ ව්‍යවසායකයන් එක්ක, ඒ ආයතනවල හිමිකරුවන් එක්ක, මේ රටේ ජනතාව එක්ක, පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් එක්ක හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොකියා හදිසි පනතක් ලෙස ගෙනල්ලා පනත සම්මත කර ගත්තා. ජනතාවට අහිතකර වූ යෝජනාවන් අහිතකර ලෙස සම්මත කර ගනු ලැබූවත් ඒ පිළිබඳ කිසිදු සාකච්ඡුාවක් කරනු ලැබුවේ නෑ.

දැන් මොකටද මේ ප‍්‍රශ්නයට තේරීම් කාරක සභාවක් පත්කර සාකච්ඡුා කරන්නේ. ප‍්‍රශ්නය මගහැර යෑමට ප‍්‍රශ්නය කල්දමා ගැනීමටයි. ඒ නිසා එම රැුවටීමට හවුල්වීමට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වෙන්නේ නැහැ. 

ඒ වගේම ඔබට මතක ඇති. නිමල් සිරිපාල ඇමතිවරයා මාධ්‍ය ප‍්‍රකාශයට පත්කර තිබුණා පා 2/3 බලය දෙන්න ඔවුන්ට මෙම ප‍්‍රශ්නය විසඳීමට ව්‍යවස්ථා සංශෝධනයක් තිබෙනවා එය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇමතිවරුන් සම්බන්ධ වී සකස් කර තිබෙනවා එය කෙටුම්පත් කර තිබෙනවා කියලා. ඒ නිසා මැතිවරණයට පෙර ඒ සකස් කර තිබූ කෙටුම්පත දැන් ඉදිරිපත් කළ යුතුයි. තේරීම් කාරක සභා පත්කරමින් මේ ප‍්‍රශ්නය මගහැර යෑමට උත්සාහ කරන්නේ නැතිව එය ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා මේ පත්කරන තේරීම් කරක සභා වලට ජවිපෙ නියෝජිතයින් යවන්නේ නැහැ. ඒවට ගොස් කාලය නාස්ති කරන්නේ නැහැ. අවුරුදු 30 ක් තිස්සේ තිබුණ යුද්ධය ඉවර කළා. දැන් අවුරුදු 2 1/2ක් ගතවෙලා. ප‍්‍රශ්නයට හේතු කතා කරා. දැන් කළ යුතු වන්නේ ප‍්‍රශ්නයට පිළිතුරක් ලබාදීමයි. 

දැන් උතුරේ තත්වය ගත්තොත්...යාපනේ දිසාපතිවරු දිස්ති‍්‍රක් ලේකම්වරු කියන පරිදි


නිවාස 37286ක් සම්පූර්ණයෙන් විනාශ වෙලා. හදල තියෙන්නේ 5735යි. අර්ධ වශයෙන් විනාශ වුණු නිවාස 23999ක් පිළිසකර කරලා තියෙන්නේ 2676ක්. ආසන්න වශයෙන් නිවාස 53000ක් පමණ නැවත පිළිසකර කළ යුතුව තිබෙනවා. කිළිනොච්චියේ සමූපර්ණයෙන් විනාශ වුණු නිවාස 29464 යි. අර්ධ වශයෙන් විනාශ වුණු නිවාස 4387යි. සම්පුර්ණ නිවාස 33854යි සකස් කර තිබෙන්නේ 5707ක් පමණයි. මුලතිව්හි සම්පූර්ණයෙන් විනාශ වුණු නිවාස 18617යි හදලා තියෙන්නේ 4091යි අර්ධ වශයෙන් විනාශ වුණු නිවාස 3779යි. හදලා තියෙන්නේ 1682යි. වව්නියාව සම්පූර්ණයෙන් විනාශ වුණු නිවාස 13159 හදලා තියෙන්නේ 4126යි. අර්ධ වශයෙන් විනාශ වුණු නිවාස 15200 හදලා තියෙන්නේ 4644 පමණයි. සම්පූර්ණයෙන් නිවාස 105000ක් පමණ හදන්න හෝ අලූත්වැඩියා කරන්න තිබෙනවා. මේ මන්නාරම හැර. 

ඉන්දියාව නිවාස 50000ක් හදලා දෙනවා කිව්වා නමුත් අවුරුදු 2 1/2ක් ගතවෙලා හදලා තියෙන්නේ නිවාස 250යි. මෙහෙම ගියොත් ඉන්දියාවට මෙම නිවාස ප‍්‍රමාණය හදන්න අවරුදු 500ක් වත් යයි. එතෙක් මෙම ප‍්‍රදේශවල ජනතාව ජීවත් වන්නේ කොහේද? පාසල්වල, කොවිල්වලද නැතිනම් මඩුවලද?

මීට අමතරව උතුරේ යුධ වැන්දඹුවන් ඉන්නවා 27000ක් පමණ. පොදුවේ ගත්තාම වැන්දඹුවන් ලක්‍ෂයක් විතර ඉන්නවා. ඉතිං නිවසේ මුළු ආර්ථිකයට බරදෙන තම ස්වාමියා නැතිව මොවුන් ජීවිතය ගැටගහගන්නේ කොහොමද? ඉතිං ආණ්ඩුව මොවුන් සඳහා ගෙන ඇති පියවර කුමක්ද?

දළ සංඛ්‍යා ලේඛන අනුව මව පියා නැති දරුවන් 5000ක් ඉන්නවා. මව හෝ පියා නැති දරුවන් 12000ක් පමණ ඉන්නවා. මෙම දරුවන් සඳහා ආණුඩවෙන් ගන්නා පියවර කුමක්ද?

එම ප‍්‍රදේශවල ජනතාවගේ මූලික ආදායම් මාර්ගය වන කෘෂිකර්මාන්තය නැංවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්ද? ඉතිං ආණ්ඩුව කියනවා ඒ9 පාරට උඩින් අධිවේගී මාර්ගයක් ඉදිකරන බව. ඒවද ජනතාවට  ඕන වෙලා තියෙන්නේ. තමන්ගේ ගොවිතැන් කටයුතු වලට ඇලමාර්ග ප‍්‍රතිසංස්කරණය කර ගැනීමයි. 

අධ්‍යාපන බිඳ වැටිලා ගොඩනැගිලි නැති පාසල්, ගුරුවරුන් නැති පාසල් තියෙන්නේ. 

උතුරේ ගැබිණියන් 35%ක් රක්තහීනතාවෙන් පෙළෙනවා. ඇයට උපදින දරුවා නිරෝගී නෑ. සෞඛ්‍ය සේවය බිඳ වැටිලා.

රෝහල්වල වෛද්‍ය හිගකම බෙහෙත් හිගකම ඇඳන් හිගකම නිසා සේවා බිඳ වැටිලා. ඒ නිසා දැන් ජනතාවට  ඕන ඒවාට විසදුම් මිස තේරීම්කාරක සභා නොවේ. ආණ්ඩුව කළ යුත්තේ තේරීම් කාරක සභා ඇටවීම නොවේ.

යුද්ධය නිම වෙලා අවුරුදු දෙකහමාරක් වෙනවා. නමුත් උතුරේ ජනතාවගේ සිවිල් පරිපාලනය ගොඩනගලා නැහැ. එහි තිබෙන්නේ අර්ධ මිලිටරි පාලනයක්. එන්.අයි.බී. එක ප‍්‍රදේශය පුරා. දේශපාලන රැුස්වීමක් තිබුණොත් බුද්ධි අංශය ඉන්නවා ජනතාවට වඩා. රැුස්වීමකට ගියොත් හමුදා බුද්ධි අංශය ගෙදරට ඇවිත් ප‍්‍රශ්න කරනවා. ඒ ප‍්‍රදේශවලට නෑදෑ හිතමිතුරන්ට යන්න නෑ. හමුදා බුද්ධි අංශ ප‍්‍රශ්න කරනවා. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ ඒ මහජනතාවට අවශ්‍ය සිවිල් පරිපාලනය ගොඩනැගීමයි. 


තවත් තේරීම් කාරක සභා අවශ්‍ය නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රෝඩාවට හවුල් වෙන්නේ නැහැ. කළ යුතු වන්නේ පැනනැගී තිබෙන ගැටලූ වලට ක්‍ෂණික විසදුම් ලබාදිමයි. මේ කල්මරණ තත්වය විසින් ඔවුන් වෙනත් තැනකට තල්ලූ කරමින් තිබෙනවා. ඔවුන් අවශ්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දරුවන්ට අධ්‍යාපනය, ජීවත්වීමට නිවාස. ඒම අවශ්‍යතාවයන් නොලැබීමෙන් සිදුවන්නේ ඔවුන් නැවත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවයන්ට යොමු වීම. අතීතයේදීත් සිදුවූයේ එයයි. ඒ නිසා අපි ආණ්ඩුව බල කර කියා සිටින්නේ මෙම ප්‍රෝඩාකාරී තේරීම් කාරක සභා නතර කරන්න. එම දෙමළ ජනතාව මුහුණ දී සිටින ඇත්ත ප‍්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර ගන්න කියලා.

 



No comments:

Post a Comment