Saturday, February 2, 2013

දෝෂාභියෝගය පැරදුනා දැන් අවශ්‍ය ජනතාව සමග කරන අරගලයක්


"අග‍්‍රවිනිශ්චයකාරවරිව දෝෂාභියෝගයට ලක්කළාට වඩා බරපතළ කාරණයක් තමයි දැන් මතුවෙලා තිබෙන්නේ. නීතියේ ස්වාධිපත්‍ය නැවත පිහිටුවීමේ අරගලයකයි දැන් අපට නියලීමට සිදුවෙලා තිබෙන්නේ. මගේ මතය අනුව ඒ දෙස බැලීමයි දැන් අවශ්‍ය වන්නේ.
මේකේදී නීතිඥ මහත්වරුන්ට නෝනලාට ප‍්‍රශ්නයක් වන්නේ නැහැ. ජනතාවගේ නඩුවලට සහ ජනතාවට තමයි මේකෙන් බලපෑම් සිදුවන්නේ. අවසාන වශයෙන් මහජනතාවට කියන්න
තිබෙන්නේ ඒ යථාර්ථයට සූදානම් වෙන්න කියලා පමණයි... ''යයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පැවසිය.
'' නීතිඥ ප‍්‍රජාව මහජනතාව සමග එක්ව අරගල කළේ දෝෂාභියෝගය වැළැක්වීමට. එය නතර කිරීමට අපට නොහැකි වූනා. නැවතත් එම අරගලය කලින් තිබුණු ස්වරූපයටම ගෙන යන්න හැකියාවක් නැහැ. එවැනි අරගලයකට නැවතත් යනවා නම් නීතිඥ ප‍්‍රජාවෙන් ඔබ්බට ගොස් ජනතාව සමග එම කි‍්‍රයාවලිය කළ යුතුයි.''
දෝෂාභියෝගය හරහා ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ඇතිවී තිබෙන තත්වය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසෙද පැවසිය.
''එවැනි අරගලයකදී අපට පුළුවන් අවශ්‍ය දැනුවත්වීම් කරන්න. ඒ වගේම නීතිඥ ප‍්‍රජාව හැටියට අපට හැකියාවක් තිබෙනවා මේ කාරණාවලට විරුද්ධව යම්කිසි බලපෑම් කරන්න.
නීත්‍යනුකූල අග‍්‍රවිනිශ්චයකාරවරිය සිය ධුරයෙන් ඉවත්කරපු ක‍්‍රමවේදය සම්පූර්ණ වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් විරෝධී නීත්‍යනුකූල නොවන්නක් බව අද මුළු ලෝකයම දන්නවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ගරු නොකර නව අග‍්‍රවිනිශ්චයකාරවරයකු පත්කිරීම සිදුකරලා තිබෙනවා. එම පත්කිරීමත් සමගම ආණ්ඩුක‍්‍රමය පිළිබඳව අර්බුදය තවදුරටත් ව්‍යාකූලවෙලා තිබෙනවා. එලෙසම ඇතිවුණු ගැටලුවට විසඳුම් සොයනවා වෙනුවට ජනාධිපතිවරයා මෙලෙස නව පත්කිරීම සිදුකර තිබෙනවා."


No comments:

Post a Comment