Friday, February 1, 2013

මොහාන් පීරිස් තමන්ගේ නඩුව තමන්ම ඇසීමට යයි නඩුව ගෙනා නාගානන්දට තර්ජන


ශ්‍රී ලංකා රේගුව, ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටිය දී ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් බිලියන 600 කට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණ. එම අවස්ථාවේ එහි විනිසුරු මඩුල්ලේ මොහාන් පීරීස් මහතා අසුන්ගෙන තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුව විභාගයට ගත් අවස්ථාවේ අගවිනිසුරු මොහාන් පීරිස්
එහි අසුන්ගෙන සිටීමෙන් නඩුව විභාගයට ගත නොහැකි බවත් පැමිණිලිකරුට ඉන් අගතියක් සිදුවන බවත් පෙන්වාදීමෙන් අනතුරුව මො‍හාන් පීරිස් සහ කේ.එස්.ශ්‍රී. පවන් යන විනිසුරුවරු නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලෙන් ඉවත්වූ අතර නඩුව යළි විභාගයට ගැනීම පෙබරවාරි 01 වැනි දිනට කල් තැබිණි.
ඒ අනුව අදාළ පෙත්සම අද නව විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරෙන බව ශ්‍රේෂ්ටාධිකරණය ප්‍රකාශ කළේය.
පෙත්සම ගොනු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පැවසුවේ රේගු බදු වංචා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කල සමයේ අත්තනෝමතික ලෙස ඉවත් කරගෙන ඇති බවයි.
මේ හේතුවෙන් රජයට රුපියල් බිලියන 619 කට අධික පාඩුවක් සිදු වී ඇති බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.
මොහාන් පීරිස් හිටපු නීතිපතිවරයා විසින් මූලික අයිතීන් කඩ කිරීමක් සිදු කොට ඇති බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබේ.
පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව තමන්ට තර්ජන එල්ලවී ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පැවසුවේය.

No comments:

Post a Comment