Tuesday, February 5, 2013

මාතලේ සමූහ මිනී වල ගැන ජවිපෙ කතා කරයි - 88-89 ඝාතනයන්ට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා... සාධාරණයක් ඉටුවේ යැයි අපි හිතන්නේ නැහැ


මාතලේ සමූහ ඝාතනයට මෙන්ම 1988 - 1989 ඝාතනයන්ට සෘජුව හා වක‍්‍රව වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නා බවත් ඝාතනය වූවන්ට මෙම ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටුවේ යැයි තමන් නොසිතන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා අද (05) බත්තරමුල්ලපැලවත්ත පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.
එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

"ඉතා අමානුෂික ලෙස ඝාතනයට ලක්කොට සමූහ වශයෙන් වළදමා තිබෙන මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් මේ වනවිට මහත් ආන්දෝළනයට ලක්ව තිබෙනවා. 1988-89 සමයේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් නිල හා නිල නොවන ඝාතන කණ්ඩායම් පවත්වාගෙන ගියා. පොලීසියහමුදාව උපයෝගී කරගනිමින් නිල ආකාරයෙන් මෙන්ම නොනිල ඝාතක කණ්ඩායම් යොදාගනිමින් ඝාතන රැල්ලක් කි‍්‍රයාත්මක කළා. එමෙන්ම රට පුරා එවකට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ නිවෙස් ඝාතකාගාර,වධකාගාර බවට පත්ව තිබුණා. පුත්තලමගාල්ලමාතර වගේම ගම්පහ දිස්ති‍්‍රක්කවල එවකට සිටි අමාත්‍යවරුන්ගේ නිවෙස් ඝාතකාගාර බවට පත්ව තිබුණා. සෘජුව එවකට පැවති ආණ්ඩුවේ දේශපාලකයින් මෙම ඝාතන සංස්කෘතියට මැදිහත් වුණා. පසුගියදා බටලන්ද කොමිසම හරහා එවැනි සමූහ ඝාතනයන් සිදුවූ බවට තොරතුරු රටට හෙළිදරව් වුණා.
විටෙක පාරවල්වල පුළුස්සා දැමීම්ගංගාවල පාකර හැරීම්,විටෙක දර්ශනයට මෙම ඝාතනය කරන ලද මළ සිරුරු යොදාගෙන තිබුණා. පේරාදෙණිය ගලහ මන්සන්දියේ ජල පොකුණ අවට ඝාතනයට ලක්වූවන්ගේ හිස් ප‍්‍රදර්ශනයට තබා තිබුණා. ඒ වගේම බොහෝ පිරිස් විවිධ ස්ථානවල වළ දැමුවා. ඉන් කලකට පසුව බොහෝ සමූහ මිනී වලවල් හෙළිදරව් වුණා. ඇඹිලිපිටියේ සූරියකන්ද සමූහ මිනී වල 1994 යූ.ඇන්.පී. ආණ්ඩුව කඩා වැටෙන යුගයේදී විශාල ආන්දෝළනයකට ලක් වුණා. පරීක්‍ෂණ සිදුකළා. සමහර වගකිවයුත්තන්ට දඬුවම් නියම කළා. ඒ වගේම කුරුණෑගල කොස් කැළේමාතර එළියකන්දඑවැනි ස්ථාන මෙවැනි සමූහ මිනී වළවල් ඇති බවට සැක කරනවා.
ඉතිහාසයේ එවැනි වළ දැමූ සමූහ ඝාතන විටින් විට මතුවීමට පටන් ගත්තා. එහි එක් අවස්ථාවක් ලෙස තමයි මාතලේ සමූහ මිනී වළ හමුවන්නේ. එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 60,000ක් පමණ වන තරුණ පිරිසක් ඝාතනය කිරීම් පිළිබඳ සාක්‍ෂි මේ වනවිට මතුවෙමින් තිබෙනවා. මාතලේ සමූහ මිනී වළෙහි මේ වන විට 140කට පමණ ආසන්න සම්පූර්ණ හෝ අර්ධ සිරුරු ප‍්‍රමාණයක් මතුවෙලා තිබෙනවා. එහි කැණීම් කටයුතු කරන පරීක්‍ෂණ කණ්ඩායම් පවසන්නේ ඉදිරි කැණීම් වලදී සිරුරු ප‍්‍රමාණය 200කට ආසන්න ප‍්‍රමාණයක් විය හැකි බවයි. ඒ අනුව මෙම මාතලේ සමූහ මිනී වල ලංකා ඉතිහාසයේ සොයාගත් විශාලතම මිනී වලයි. එමෙන්ම එහි ඇති මළ සිරුරු 88-89 වකවානුවට අයිති එවා බව තහවුරුවී තිබෙනවා.
විශේෂයෙන්ම මෙම සමූහ මිනී වළ වසංගත රෝගවලින් මියගිය පිරිසකගේ නොවෙයි. එසේනම් ඒ සමයෙහි අධිකරණ වාර්තාවල රෝහල්වල වාර්තාවල එම තොරතුරු අඩංගු විය යුතුයි. එලෙස වාර්තාගත කිරීමකින් තොරව මෙවැනි මළ සිරුරු ප‍්‍රමාණයක් වළ දැමිය නොහැකියි. එනිසා ඉතාම පැහැදිළියිඑවකට පැවති ආණ්ඩුවේ ඝාතක කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද තරුණයින්ගේ මළ සිරුරු බව. කැණීම් කටයුතුවල නිරත පරීක්‍ෂකයින් පවසන්නේ මෙම මළ සිරුරු විවිධ වධ බන්ධනයන්ට ලක්වී ඝාතනයට ලක්වූවන් බවයි. සමහර මළ සිරුරුවලින් හිස වෙන් වී තිබෙන්නේ ස්වභාවික ආකාරයට නොවේ. එමෙන්ම අත් පා වෙන්වීම සිදුව තිබෙන්නේ ස්වභාවික ආකාරයෙන් නොවේ. කපා දැමීම් හරහායි. ඒවා වෙන්වී තිබෙන්නේ අස්ථී පිහිටා තිබෙන ස්ථානවලින්. එනිසා ඉතාමත්ම පැහැදිළියි අතිශය අමානුෂික ලෙස මොවුන් ඝාතනය කර ඇති බව. එම ශරීරවලට ඇනයකඩ කූරු ඔබ්බවා තිබෙන බවට සාක්‍ෂි තිබෙනවා.
එනිසා මෙම සමූහ මිනීවළ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරණයකට හෝ ප‍්‍රදර්ශනයකට පමණක් සීමා කළයුතු නැහැ. එවකට ජීවත්ව සිටි තරුණ පරපුර අතිශය කුරිරු ඝාතනකට ලක්වූ යුගයක් බව ඉතාමත්ම පැහැදිළියි. එනිසා මෙම සිදුවීම යට ගැසීමකට වළලා දැමීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි. මාධ්‍යවේදීන් වන ඔබත් දේශපාලන ව්‍යාපාර වන අපේත් වගකීම වන්නේ මෙම තොරතුරු නිවැරදිව රටට හෙළිදරව් කිරීමයි. මෙම පරීක්‍ෂණ අධිකරණ වාර්තාවලින් කෙළවර කළ යුතු නැහැ. එවකට පැවති ආණ්ඩුවේ උපකාර ලබන ලද ඝාතකයින් විසින් කරන ලද මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්‍ෂණයක් කළ යුතුයි. සෑම මළ සිරුරක් පිළිබඳවම වෙන වෙනම තොරතුරු ලබාගත යුතුයි. ඉන් එහාට ගොස් ඊට වගකිව යුතු අය පිළිබඳව සොයා නිසි දඬුවම් පැමිණවිය යුතුයි. මීට සම්බන්ධ දේශපාලකයින් රටට හෙළිදරව් කළ යුතුයි. මාතලේ ප‍්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් සාක්‍ෂි දරනවා. විශේෂයෙන්ම විල්ගමුවරත්තොට ප‍්‍රදේශයන්වල වධකාගාර තිබූ බවට එම ප‍්‍රදේශයේ ජනතාව සාක්‍ෂි දරනවා. මේ සඳහා හවුල් වූ නිල හා නිල නොවන ඝාතක කණ්ඩායම් කවුරුන්ද යන්න එහි සාමාජිකයින් කවුද යන්නත් රටට හෙළිදරව් කළ යුතුයි. හමුදාවපොලීසියවිශේෂ කාර්ය බළකායේ සමහර කණ්ඩායම් මෙම ඝාතනයන් සඳහා යොදා ගන්තා. එවකට සිටි පළාත් භාර පොලිස් නිළධාරීන්,හමුදා නිළධාරීන් කවුරුන්ද යන්න රටට හෙළිදරව් කළ යුතුයි. ඝාතනයට ලක්වූ 200කට පමණ ආසන්න පිරිසට සාධාරණය ඉටුවිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඔවුන්ට සාධාරණය ඉටුකිරීම සඳහා කළ යුතු සියලු දේ කිරීමට සූදානම්. ගහළයින්ගේ වධ බන්ධනයට ලක්වූ මෙම තරුණ පිරිසට සාධාරණය ඉටු කිරීමට එම ඝාතකයින්ට දඬුවම් ලබාදීම තෙක් පරීක්‍ෂණ පැවැත්වීමට ආණ්ඩුවට බළපෑම් කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා.
දැනට ආරම්භ කොට තිබෙන පරීක්‍ෂණ තවදුරටත් විධිමත් කළ යුතුයි. ඒ වගේම ඊට වගකිවයුත්තන් පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි. ආණ්ඩුව මෙම දෙවැනි පියවර සම්බන්ධයෙන් අවධානය යොමුකර නැහැ. ඒ සම්බන්ධයෙන් අපට සැකයක් පහළවී තිබෙනවා. විජේදාස ලියනආරච්චි ඝාතනය එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සිදු කළත් ඒ හා සම්බන්ධ තොරතුරු ලබාදුන්නේ වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයෙක්. එනිසා 88-89දී සිදුවූ ඝාතනයන්ටත් වත්මන් ආණඩුවේ දේශපාලකයින් සහාය ලබාදී තිබෙනවා. එවකට කි‍්‍රයාත්මක වූ "ප‍්‍රා" සංවිධානයේ ප‍්‍රධානියා වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙක්. එම නිසා මෙම මාතලේ ඝාතනයන් සම්බන්ධයෙන්ද සෘජුව හා වක‍්‍ර ලෙස සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ ඉන්න බවට සාධාරණ සැකයක් අපට තිබෙනවා.
මේ ආකාරයෙන් 88-89 යුගයන්වලදී දිවි පිදූ විරුවන්ට සාධාරණය ඉටුකළ යුතුයි. පළවෙනි කරුණ තමයි ඔවුන් බලාපොරොත්තු වූ දේශපාලන ජයග‍්‍රහණ රටට අත්පතකරගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දිවි හිමියෙන් කැපවී සිටිනවා. එමෙන්ම ඔවුන්ගේ ජීවිතවලට සාධාරණය ඉටුවන්නේ ඝාතකයින්ට දඬුවම් ලබාදීමෙන්. ඒ නිසා ඒ වෙනුවෙන්ද අපි ආණ්ඩුවට බළපෑම් කරමින් ඉන්නවා. නමුත් මේ ආණ්ඩුවෙන් එවැනි සාධාරණයක් ඉටුවෙයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. මෙම මාතලේ සමූහ මිනීවළ අහම්බෙන් මතුවූවක්. නමුත් මෙම පරීක්‍ෂණ ඉතාමත් විධිමත් ආකාරයෙන් ඉදිරියට ගෙනයා යුතු බව අපේ අදහසයි. ඒ වෙනුවෙන් මාධ්‍යවේදීන්ටත් දේශපාලන ව්‍යාපාරවලටත් මේ පිළිබඳ රටට හෙළිදරව් කිරීමේ වගකීම පැවරී තිබෙනවා.

No comments:

Post a Comment