Wednesday, January 30, 2013

රැකියා අහිමි කළ සියලු සහෝදර සහෝදරියන්ගේ රැකියා නැවත ලබා දෙනු! උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය තහවුරු කරනු!! - තාරුණ්‍යයේ හඬ


රැකියා අහිමි කළ සියලු සහෝදර සහෝදරියන්ගේ රැකියා නැවත ලබාදෙන ලෙසත් උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් තාරැණ්‍යයේ හඬ සංවිධානය රජයට බල කර සිටී. මේ බව සඳහන් කරමින් අද ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
වසරක් ගෙවී නව වසරක් උදාවීම යනු තාරුණ්‍යයට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවට අලූත් බලාපොරොත්තු, අලූත් සිහින පිළිබඳ සුබවාදී අදහසක් ඇති කරන මොහොතකි. ඒ වෙනුවෙන් මෙතෙක්
තමන් තුළ පවා පැවති සමහර අඩුපාඩුකම්, අතපසුවීම් පවා නිවැරදි කරගැනීමට උත්සාහ දරන්නෙත් අධිටන් කරගන්නෙත් කෙසේ හෝ තම ජීවන උවමනාවන් ජයග‍්‍රහණය කරගැනීමට ඔවුන් තුළ තෙරපෙන උවමනාව නිසාය. තරුණ්‍යය එසේය. නමුත් සිදුව ඇත්තේ කුමක්ද?
ශ‍්‍රී ලාංකීය තාරුණ්‍ය ඉල්ලා සිටියා මෙන්ම වර්තමානයේ ඉල්ලා සිටින්නේද තමන්ට උසස් අධ්‍යාපන අවස්ථා ප‍්‍රමාණය වැඩි කරගැනීමට රාජ්‍ය විශ්ව විද්‍යාල ප‍්‍රමාණය වැඩි කරන ලෙසය. ඒ උසස්පෙළ සමත්වි විශ්ව විද්‍යාල සඳහා ඇතුල්වීමට සුදුසුකම් සැපිරුවද ඉඩකඩ ප‍්‍රමාණවත් පරිදි නොමැතිකම හේතුවෙන් ඉවතට විසිවී ඇති තත්වයක් තුළය. මන්දයත් එය ඔවුන්ගේ ජීවිතයත්, අනාගතයත් පිළිබඳ ප‍්‍රශ්නයක් නිසාවෙනි. එමෙන්ම රැකියා නොමැති ලක්‍ෂ 22 කට අධික තරුණ තරුණියන් ප‍්‍රමාණයක් ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත්වීමට රැකියාවක් ලබාදෙන ලෙසය. ඉතා සොච්චම් වැටුපකට රැකියාවක් කරන තරුණ තරුණියන් ඉල්ලා සිටින්නේ තම වැටුප වැඩිකර දෙන ලෙසය. ඒ තමන්ට ජීවත්වීමට ඇති අපහසුව නිසාවෙනි. නමුත් සිදුව ඇත්තේ කුමක්ද?
තාරුණ්‍යයේ උක්ත බලාපොරොත්තු එකින් එක වියදමින් අද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ ඔවුන්ගේ ජීවිත තවදුරටත් අනතුරේ හෙලන එක නොවේද? පසුගිය අය-වැය තුළින් තරුණ තරුණියන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් කිසිදු මුදලක් වෙන්නොකළ මහින්ද රාජපක්‍ෂ මහතා ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව මගින් ජනවාරි පළමු දින සුබ අලූත් අවුරුද්දකට ප‍්‍රාර්ථනා ගෙන ආවද සිදුව ඇත්තේ කුමක්ද? ජනවාරී 02 දිනම තරුණියන් 1100 කට පමණ රැකියා අහිමි කරමින් නිට්ටඹුව මල්වත්ත වෙළඳ කලාපයේ ක‍්‍රිස්ටල් ස්වේටර් ලංකා ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය GSP ප්ලස් සහන නොමැතිකමින් වසා දමන තත්වයකට පත්කරන එක නොවේද? එමගින් නිට්ටඹුව, වරකාපොල, රුවන්වැල්ල, වේයන්ගොඩ, මීරිගම, යක්කල වැනි ප‍්‍රදේශවල තරුණියන් විශාල ප‍්‍රමාණයකට රැකියා අහිමි කර ඇත. ඒ අලූත් අවුරුද්ද උදාවීමත් සමගය. එලෙසින්ම GSP ප්ලස් සහන නොමැති කමින් වත්තල පමුණුගම ෆයර් ෆොක්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් බයිසිකල් නිෂ්පාදන ආයතනය වසා දැමුයේ දෙසැම්බර් 31 දිනය. ඒ සේවකයින් 400කට වැඩි ප‍්‍රමාණයක් එළියට ඇද දමමින්ය. එමගින් වත්තල, බෝපිටිය, ජාඇල, පමුණුගම වැනි ප‍්‍රදේශවල විශාල පිරිසකට රැකියා අහිමි වී ඇත. මේ හැම තැනකම සාතිශය බහුතරය තරුණ තරුණියන්ය. එමෙන්ම හොරණ ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයක වාර්ෂික ප‍්‍රසාද දිමනාව ඉල්ලා අරගල කළ පිරිසකගේ රැකියා අහිමි කර ඇති අතර ඊට එරෙහිව පාරට බැස තම විරෝධය පලකළ එම ආයතනයේ සේවක සේවිකාවන්ට අමානුෂික ලෙස පහරදී පලවා ඇති අතර මේ මොහොත වන විටත් ඊට සම්බන්ධ පිරිස් පසු පස හඹායමින්  ඔවුන් වෙත මර්ධන හස්තය දිගුකර ඇත. ප‍්‍රශ්නය උග‍්‍රකර ඇත. මේ නින්දිත ප‍්‍රහාරය තාරුණ්‍යයේ හ`ඩ ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
ඉහත කරුණු සියල්ල තුළින් තහවුරු වන සත්‍ය නම් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට අලූත් විශ්ව විද්‍යාල ඇරඹීමටවත්, නිසි වැඩපිළිවෙලක් සහ උවමනාවක් නොමැතිවා සේම අලූතින් රැකියා දීම කෙසේවෙතත් පවතින රැකියා අවස්ථා ප‍්‍රමාණයවත් වර්තමානය වන විට රැකගැනීමට නොහැකි වී ඇති බවයි. කරුණු එසේ හෙයින් තාරුණ්‍යයේ හඬ ලෙස අපි මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට අවධාරණය කර කියා සිටින්නේ රැකියා අහිමි වූ සියලූම සේවක සේවිකාවන්ට ඔවුන්ගේ රැකියා නැවත ලබාදීම සඳහා ඉතා කඩිනමින් මැදිහත්වන ලෙසත්. සාමකාමී උද්ඝෝෂණ සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත්ය. සුබ අලූත් අවුරුද්ද පටන්ගෙන සතියක් දෙකක් ගෙවෙන මේ මොහෝත වන විට තත්වය මෙලෙස නම් ඉදිරියට මේ තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් එමගින් අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවන බවත් දකින තාරුණ්‍යයේ හඬ සමස්ත ලාංකීය තරුණ ප‍්‍රජාවටම ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසත් ඊට එරෙහිව පෙළ ගැසීමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටිමු.
තාරුණ්‍යයේ හඬ

No comments:

Post a Comment