Friday, December 7, 2012

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් භාරදුන් ඒකාබද්ධ වාර්තාව


අගවිනිසුරු ‍ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඇති දෝෂාභියෝග චෝදනා වමිර්ශනය කරනු ලබන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා ඉවත්ව යෑමට පෙර ඔවුන් විසින් අත්සන් තබන ලද ඒකාබද්ධ වාර්තාවක් එම කමිටුවේ සභාපතිවරයා වෙත භාරදී තිබේ.
එම වාර්ථාව මගින් විශේෂ යෝජනා මාලාවක් එම කාරක සභාවට ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලට එකඟ නොවන්නේනම්
කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට සිදුවනු අති බවත් එයින් අවධාරණය කර තිබේ.
තේරීම් කාරක සභාවේ සභාපති වරයා වෙත මෙම ලිපිය බාර දීමෙන් පසු ඔවුන් ඉවත් වී ඇති අතර එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළවේ.
"2012 දෙසැම්බර් 07
සභාපති
අගවිනිසුරුතුමිය සම්බන්ධ විශේෂ කාරක සභාව
මහත්මයාණෙනි,
විශේෂ කාරක සභාවේ සාමාජිකයන් වන පහත අත්සන් කරන අපි පහත කරුණු වාර්තා කිරීමට කැමැත්තෙමු. කාරක සභාව විසින් කරුණු සළකා බලමින් සිටින කාලය තුළ අප විසින් පහත කරුණු ඉස්මතු කර තිබිණි.
01. විශේෂ කාරක සභාව විසින් අනුගමනය කළ යුතු වන කාර්ය පරිපාටිය පිළිබඳව පැහැදිළි මග පෙන්වීමක් නොමැති වීම.
02. අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයින් වෙත ලිපි ලේඛන ලබා දිය යුතුව තිබිණිද යන්න.
03. අවශ්‍යය වනු ඇත්තා වූ සාක්ෂි පිළිබඳ මිනුම්දණ්ඩ.
04. "අවකල්ක‍්‍රියාව" පිළිබඳ අර්ථ නිරූපනයක් ලබා ගැනීමේ අවශ්‍යතාව.
05. ලිපිලේඛන අධ්‍යයනය කිරීම සඳහා අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයින් වෙත ප‍්‍රමාණවත් කාලයක් ලබා දෙන්නේද යන වග.
අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයින් වෙත ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇති පැමිණිලිකරුවන් කිහිප දෙනාගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ලබා දෙන්නේද යන්න පිළිබඳ මඟ පෙන්වීමක් ද ලබා දෙන ලෙස අප විසින් ඉල්ලා ඇත.
පළමුව අගවිනිසුරුතුමියට එරෙහිව බැලූ බැල්මට පෙනෙන නඩු කටයුත්තක් හඳුනාගනු ලැබ ඇත්තේ නම් පමණක් ඇය වෙතින් ප‍්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිය හැකි බව අපගේ ස්ථාවරය විය.
මෙම කරුණුවලින් කිසිවක් ඔබගේ කාරක සභාව විසින් ඉටු කර නොමැත.
අප අඳුරේ අතපත ගාමින් තදුචිත (ad hoc) පදනමක් මත ඉදිරියට යමින් සිටින බව ද අපගේ වැටහීමයි.
මීට අමතරව කාරක සභාව වෙත ලිපිලේඛන 300 කට වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇති අතරඒවා සාමාජිකයන් වෙත ලබා දී ඇත්තේ 2012 දෙසැම්බර් 05 වන දින වන අතර,අගවිනිසුරුතුමිය වෙත ලබා දී ඇත්තේ 2012 දෙසැම්බර් මස 06 වන දින ප.ව.4.30 ට ය.
ඉදිරිපත් කළ යුතු තවත් ලිපිලේඛන කිහිපයක් ඇති බව අපට දැන ගන්නට ලැබී ඇත.
අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් විසින් අදාළ ලිපිලේඛන අධ්‍යයනය කිරීම සඳහා කාලය ඉල්ලා සිටින ලදී. මෙය ප‍්‍රතික්ෂේප කෙරිණි.
අගවිනිසුරුතුමිය හැරුණුකොට විශේෂ කාරක සභාවේ සාමාජිකයින් වන අපට ද මෙම ලිපිලේඛන අධ්‍යයනය කිරීම සඳහා ප‍්‍රමාණවත් කාලයක් අවශ්‍ය වනු ඇත.
තවදඅගවිනිසුරුතුමිය වෙත ලිපි ලේඛන ලැයිස්තුවක් හෝ සාක්ෂි කරුවන් ලැයිස්තුවක් හෝ ලබා දී නොමැත.
මෙම සිදුවීම් පෙළගැසී ඇති ආකාරය පහත පරිදි දැක්විය හැක,
යෝජනාව ගොනු කරන ලද අවස්ථාවේදී ඒ සමග ලිපිලේඛන ඉදිරිපත් නොකෙරිණි.
විභාගය සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් හෝ ලිපිලේඛන ලැයිස්තුවක් හෝ නොමැතිව 2012 නොවැම්බර් මස 14 වන දින ආරම්භ කෙරිණි.
සභාවාර තුනකින් පසුබැංකුවලින් හා අනෙකුත් ආයතනවලින් අදාළ ලිපිලේඛන කැඳවන ලෙස මහ ලේකම්වරයා වෙත උපදෙස් දෙන ලදී.
මෙමගින් පැහැදිලි වනුයේ දෝෂාභියෝග යෝජනාව ගොනු කරන ලද අවස්ථාවේදී අත්සන්කරුවන් අතරින් කිසිවෙක් හෝ එකී ලිපි ලේඛනවලින් කිසිවක් දැක නොමැති බවයි.
සිදුකෙරෙමින් පවත්නා මෙම පරීක්ෂණය තුළ කාරක සභාව විසින් නීතියේ සුප‍්‍රකාශ ප‍්‍රතිපාදන හා ස්වභාවික යුක්ති ධර්මයේ අවශ්‍යතා නොසළකා හරිමින් සිටීම කණගාටුවට කරුණකි.
01. නීතියේ සාධාරණත්වය හා සමාන ආරක්ෂාව සහතික කරන්නා වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව හා නිර්දෝෂි බවට පූර්ව නිගමනය කරන්නා වූ 13(5) ව්‍යවස්ථාව
02. නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහතික කරන්නා වූ මානව හිමිකම් ප‍්‍රකාශනයේ 07 වන ව්‍යවස්ථාව
03. සෑම විනිසුරුවරයෙකු හටම සාධාරණ නඩු විභාගයක් හා ඉවත් කිරීමේ කාර්ය පරිපාටිය පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සහතික කරන්නා වූ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මවල 17 වෙනි හා 20 වෙනි විෂයාංක
අගවිනිසුරුතුමිය හට ඇයගේ තනතුරට ලැබිය යුතු වන්නා වූ ආචාරශීලිත්වය හා වරප‍්‍රසාද ලබා දී නොමැති බව ද සැළකිල්ලට ගත යුතු කරුණකි.
මෙම කරුණු පිළිබඳව අප විසින් අපගේ ස්ථාවරය පැහැදිළි කර දී ඇත.
මෙම විභාගය පැවැත්වීමේදී ඉහළම සාධාරණත්වය පවත්වා ගෙන යාම මෙම විශේෂ කාරක සභාවේ වගකීම වේ.
මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවත්නා අතරතුර අගවිනිසුරුතුමියට සළකන ලද ආකාරය අපහාසාත්මක හා බියගන්වන සුළු වන අතරසිදුකරන ලද ප‍්‍රකාශ පැහැදිළි ලෙසම වැරදිකරු බවට පූර්ව නිගමනයක් ප‍්‍රකට කරන්නා වූ ඒවා වූ බව ද කණගාටුවෙන් සඳහන් කරන්නෙමු.
එබැවින්තවදුරටත් කටයුතු ඉදිරියට ගෙනයාමට ප‍්‍රථම කාරක සභාව විසින් එම කාරක සභාව මෙම පරීක්ෂණයේදී අනුගමනය කිරීමට අදහස් කරන්නා වූ කාර්ය පරිපාටිය සඳහන් කළ යුතු බවද අපගේ අදහසයි.
සභාගත කරන ලද ලිපිලේඛන අධ්‍යයනය කොට සමාලෝචනය කිරීම සඳහා කාරක සභාවේ සාමාජිකයින් වෙත මෙන්ම අගවිනිසුරුතුමිය හා ඇයගේ නීතිඥයින් වෙත ද ප‍්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
කාරක සභාවේ කටයුතුවලට සහභාගිවන අතර,අගවිනිසුරු නිලයේ ගාම්භීරත්වය උස්ථම්භනය කිරීමට අවශ්‍ය වන්නා වූ වරප‍්‍රසාද අගවිනිසුරුතුමියට ලබා දිය යුතුය.
මෙම කරුණු වෙත අවධානය යොමු කෙරෙන්නේ නම්,අගවිනිසුරුතුමිය වෙත මෙම කාර්යාවලියට ඇයගේ සහභාගීත්වය තවදුරටත් ලබා දෙන ලෙස ආරාධනා කළ යුතු බව අපගේ හැඟීමයි.
කෙසේ වුවදකාරක සභාව අපගේ යෝජනාවලට එකඟ නොවන්නේ නම් මෙම කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට එමගින් අපවෙත බලකෙරෙනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්"

No comments:

Post a Comment