Thursday, December 6, 2012

නිෂ්පාදන ආර්ථිකයෙන් ඈත්වී සේවා ආර්ථිකයට යොමුවීම තේ කර්මාන්තයේ අර්බුදයයි


මේ වන විට දැඩි ලෙස කඩා වැටීමකට ලක් වී ඇති කුඩා තේ වතු හිමියන් හා තේ කර්මාන්තය රැක ගැනීමට වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහත පැවසීය. අද දින කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලාල් ප්‍රේමරත්න මහතා
කුඩා තේ වතු හිමිකරුවන් ලක්‍ෂ 5 ක් සිටිනවා. එයින් ලක්‍ෂ 30
ක පමණ පිරිසක් යැපෙනවා. ඒ කියන්නෙ රටේ මුළු ජනගහනයෙන් 15% ක් පමණ මේ තේ කර්මාන්තය මත යැපෙනවා. රටේ මුළු තේ නිපයුමෙන් 70% ක් නිපදවන්නෙ කුඩා තේ වතු හිමියන්. මේ වන විට දැඩි දුෂ්කරතා මධ්‍යයේ මෙම කුඩා තේ වතු හිමියන් තම නිෂ්පාදනය සිදුකරනවා. තේ සඳහා පොහොර මේ වෙන කොට අපි ලබාගන්නෙ අපි කරගෙන ගිය අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස. අපි රු. 1000 ට ගත්තු පොහොර පැකට් එක මේ ආණ්ඩුව විසින් තවත් රු. 300 ක් වැඩිකරල තියෙනවා. මේ පොහොර ලබාදෙන්න කටයුතු කරල තියෙනවා. හැබැයි ගාන වැඩි කළ ප‍්‍රමිතියෙන් බාල පොහොර තමයි දැන් දෙන්නෙ. ඒක ඉතාම බරපතල තත්වයක්. මේ ගැන තේ සංවර්ධන අධිකාරියට, තේ මණ්ඩලයට දැනුම් දීල තියෙනවා. දැන් ආණ්ඩුව ඒක දඩමීමා කරගෙන නැවත වාරයක් කුඩා තේ වතු හිමියන් සූරා කෑම සඳහා පොහොර සමාගම්වලට අවසර ලබාදීල තියෙනවා. මේ වෙනකොට එක එක මිල ගණන්වලට පොහොර ගෙනවිත් තියෙනවා කුඩා තේ වතු හිමියන් ලඟට. අර ප‍්‍රමිතියක් නැති පොහොර වෙනුවට ගොවියාට සිද්දවෙලා තියෙනවා අර සමාගම්වලින් පොහොර ගන්න.
තේ කර්මාන්තයේදී තේ අපනයනය කරන කොට අයකරගන්න සෙස් අරමුදල අද ආණ්ඩුව විසින් නාස්ති කරමින් සිටිනවා. මෙම සෙස් අරමුදල තේ මණ්ඩලය හරහා ගොවියා දක්වා නැවත එන ක‍්‍රමය වැහිල දැන් ඒ අරමුදල භාණ්ඩාගාරයට අරගෙන තියෙනවා. අපි ඒ අරමුදල නැවත ගොවියාට ලබාදිය යුතුයි කියල ඉල්ලීම් කරල තියෙනවා.
මුළු පවුලම පැය 24 ම අව්වට වේලිලා, වැස්සට තෙමිල නිෂ්පාදනය කරන තේ දළු කිලෝ 1 ක් සඳහා ගෙවන මුදල වැඩි කරන ලෙස අපි ඉල්ලීම් කළා. නමුත් තවමත් රු. 65 ක මට්ටමේ තමයි තියෙන්නෙ. නමුත් නිෂ්පාදන වියදම ගත්තම රු. 60-70 ක් යනවා.
ඒ වගේම අපි ඉල්ලා සිටියා නැවත වගාව සඳහා සෙස් අරමුදල යොදවන්න කියලා. මොකද තේ ගස තරුණ කාලෙ පහුවුණායින් පස්සෙ නැවත වගා කළ යුතුයි. ඒ සඳහා ගොවියාට යන වියදම දරා ගත නොහැකියි. එබැවින් මෙම සෙස් අරමුදල ඒ සඳහා යොදවන්න කියල අපි ඉල්ලීම් කරල තියෙනවා. මේ වෙන කොට එක් අක්කරයක් නැවත වගා කරන්න රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වැය වෙනවා. නමුත් ආණ්ඩුව දෙන්නෙ රුපියල් ලක්‍ෂ 3 ක් පමණයි. මෙය කිසිසේත්ම සෑහෙන්නෙ නෑ. ගොවියාගෙන් සෙස් අරමුදල අයකරගන්නවානම් අනිවාර්යයෙන්ම මෙය ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා යන වියදමෙන් 60 % ක් ගෙවිය යුතුයි. එය ආණ්ඩුවට කරන්න ඉතාමත් පහසුවෙන් පුළුවන්.
එසේම ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත නිෂ්පාදන ආර්ථිකයෙන් ඈත්වී සේවා ආර්ථිකයට යොමුවී ඇති බැවින් තේ කර්මාන්තය විනාශ කිරීම සඳහා හිතාමතාම කටයුතු කරනවා. මේ වනවිට කඳපොල තේ කර්මාන්ත ශාලාව සංචාරක හෝටලයක් බවට පත්කර තිබෙනවා. අවුරුදු සියයකට වඩා පැරණි බීරූට් නැමැති විශාල තේ යාය සංචාරකයින්ට ගොඩබැසීම සඳහා ගුවන් පථයක් බවට පත්කිරීමේ සැලැස්මක් තිබෙනවා. අවුරුදු 140 ට වඩා පැරණි, අපේ රටට රුපියල් බිලියන ගණනින් ආදායම් උපයාදුන් තේ කර්මාන්තය විනාශ කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් සහගතව කටයුතු කරනවා.
කුඩා තේ කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් අපගේ ඉල්ලීම්වලට ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් ලබා දීල නැහැ. පසුගිය අයවැය මගින් කුඩා තේ වතු හිමියා ගැන සඳහනක් හෝ නැහැ. ඒ නිසා කුඩා තේ වතු හිමියන් රැක ගැනීම වෙනුවෙන් අපි ඉදිරියේදී වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment