Monday, December 24, 2012

සරසවි ඇදුරු නිර්මාල් රංජිත් දේවසිරි රජපවුලට කෘතඥ වේ


සරසවි ආචාර්යවරුන් දින 100ක වැඩවර්ජනයක් පසුගිය කාලයේ  සිදුකරන ලද අතර එහිදී සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදුකරන ලැබූ සාකච්ඡාවන්හි එකඟතාවයේ ප‍්‍රතිඵලයක් වශයෙන් එම වැඩවර්ජනය නිමාවට පත්විය. ශී‍්‍ර ලංකාවේ 80,000කට ආසන්න සරසවි සිසුන් සඳහා සිටින ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 4,500ක් පමණ වේ.

රජයේ නව දීමනා සංශෝධනයට අනුව වසර 2013 අය-වැය යෝජනා මගින් ලබන ජනවාරි සිට සරසවි ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ආධුනික කථිකාචාර්යවරයෙකුට සියයට 60 කින්ද, කථිකාචාර්යවරයෙකුට සියයට 75 දක්වාද ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දෙවන ශ්‍රේණිය සහ පළමු ශ්‍රේණිය සියයට 80 දක්වාද සහාය මහාචාර්ය, මහාචාර්ය සහ ජ්‍යේෂ්ඨ මහචාර්යවරයෙකුට සියයට 85 දක්වාද වැඩිවේ. මෙම වැටුප් වැඩි කිරිමෙන් සියයට 50ක් ලබන වසරේ ජනවාරි මස සිට ද ඉතිරිය ලබන ජුනි මස සිටද ලැබෙනු ඇත. පර්යේෂණ දීමනාව සියයට 25 සිට සියයට 35 දක්වා මූලික වැටුපට සමානව ලබන ජනවාරි සිට හිමිවනු ඇත.

මෙයට පෙර විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල් ගණන් බැලීමේදී ඉපයීමක් ලෙස සරසවි ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉපයීමක් ලෙස නොසැලකූ බැවින් අර්ථසාධක අරමුදලට විශාල මුදල් අඩුවීමක් සිදුවූ අතර දැන් එම චක‍්‍රලේඛයද සංශෝධනයට ලක්කර තිබේ. මේ අනුව අධ්‍යයන දීමනාව ඉපයීමක් ලෙස රජය මගින් පිළිගැනේ.

මේ වැටුප් වැඩිකිරීමට රජය ගත් මෙම තීරණය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඊයේ නිල වශයෙන් භාර දෙන ලද අතර එම අවස්ථාවට විශ්වවිද්‍යාල සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ද සහභාගි වූහ. රජයක් ලෙස ඉදිරි වසරවල් කිහිපය තුළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීයමය ක්ෂේත‍්‍රයන් වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට නියමිත බැවින් ඒ සඳහා සරසවි ආචාර්යවරුන් ප‍්‍රමුඛ සෑම ක්ෂේත‍්‍රයකම සහය රජයට අවශ්‍ය බව එහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසීය.

ඊයේ පැවති රැස්වීමේදී ප‍්‍රකාශයක් කරමින් සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේ සරසවි ආචාර්යවරුන්ට වැටුප් පිළිබද සතුටුවිය හැකි සංශෝධනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට තම සමිති සම්මේලනයේ ස්තූතිය හිමිවන බවය. දින 100ක වැඩවර්ජනයක් නතර කිරීමට තම සමිති සම්මේලනය සාධනීය තීරණයක් ගනු ලැබුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සමඟ ඇතිකරගත් එකඟතාවන් පිළිබඳව පූර්ණ විශ්වාසයකින් බවත් එය ඉටුවීම තුළ සරසවි ආචාර්යවරුන්ට මේ වන විටත් ඉල්ලීම් කිහිපයක්ම ලැබීම සතුටට කරුණක් බවය.

No comments:

Post a Comment