Thursday, November 22, 2012

ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි ගැටළු ඇති නොවීමට තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසුයි


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලීමක් කරයි. 

ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය සබඳතාවත්, ගෞරවයත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බැවින් තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ. 


දැනට අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින පෙත්සම් සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමට ඇති හෙයින් එකී තීන්දු ලබාදෙනතුරු තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දු ෙකාට අැත. 

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට දිනයේ රැස්වීමට නියමිතව ඇති අතර අගවිනිසුරුවරිය හෙට දිනයේ තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතව තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

එසේ වුවද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා රෝගාතුරුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බැවින් ඔහුගේ සහභාගිත්වය නොමැතිව අදාළ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ගැටලු මතුවී ඇතැයි කියැවෙයි. 

‍අනෙක් අතට තාවකාලික සභාපතිවරයෙකු පත්කර‍ගෙන ඉදිරි කටයුතු කරගෙනයාමේ ඉඩප්‍රස්ථාව ඇති බවද සඳහන්ය. 

කෙසේ වෙතත් දින නියම කරගත් පරිදි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඇති චෝදනා විමසීම සඳහා හෙට (23) දින පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව රැස්වනු ඇති බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 

No comments:

Post a Comment