Thursday, November 22, 2012

විමල් රාජිත නුසුදුස්සන් වන්නේ කාරක සභාව රැස්වූ පසුවයි


අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායකට එරෙහි දෝෂාභියෝග යෝජනාව විමර්ශණය සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇතැම් සාමාජිකයින් අපක්ෂපාතී ලෙස ක්‍රියා කිරීමට ඉඩක් නොමැති හෙයින් එම කාරක සභාවේ කටයුතු අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම් දෙකක් විභාග කිරීම කල් දමන බව අධිකරණය ප්‍රකාශ කළේය.

නිමල් වීරක්කොඩි සහ චන්ද්‍රපාල කුමාරගේ යන නීතිඥවරුන් විසින් ගොනු කරන ලද මෙම පෙත්සම් වල සඳහන් කර තිබුනේ අදාළ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් වන රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන්ට එරෙහිව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක විසින් නඩු තීන්දු දී ඇති බවයි.
එවැනි අමාත්‍යවරුන් අසුන් ගන්නා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් අගවිනිසුරුවරිය පිලිබඳ සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවටයි පෙත්සම්කාර නීතීඥ වරුන් තර්ක කර සිටින්නේ.
අභියාචනා අධිකරණයේ විනිසුරුවරුන් කියා සිටියේ එවැනි අවදානමක් ඇතිනම් ඒ පිලිබඳ මුල් විරෝධතා පළ කළ යුතු වන්නේ කාරක සභාව රැස්වූ අවස්ථාවේ එය හමුවේ බවයි.
එහිදී ඇමතිවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියා කරන්නේ නම් අධිකරණය හමුවේ පැමිණිලි කළ හැකි බවද විනිසුරුවරු ප්‍රකාශ කළහ.
අදාළ පෙත්සම දෙසැම්බර් එකොලොස් වැනිදා යලි කැඳවන බවද අධිකරණය නිවේදනය කළේය.

No comments:

Post a Comment