Saturday, October 20, 2012

දෙමළ ඩයස්පෝරාව කේ.පී. යොදා කඩේ අරින හැටි කෙහෙලිය පෙන්වා දෙයි


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ හිටපු ප්‍රධානී කේ.පී. යොදාගෙන දෙමළ ඩයස්පෝරාව සමඟ කරන සාකච්ඡා බොහෝදුරට සාර්ථක වෙමින් පවතින බව ආණ්ඩුව මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙසේ දෙමළ ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කිරීමට කේ.පී. යොදාගැනීමට හැකියාව ලැබී තිබෙන නිසා යම් අධිකරණ කටයුත්තකදී ඔහු රජ‍යේ සාක්කිකරුවකු ලෙස යොදාගැනීම වරදක් නොවන බවද හෙතෙම පැවැසීය.

මෙය ඉතා සරල කාරණයක් නොවන බව කී ඇමැතිවරයා වසර තිහක යුද්ධයකට පදනම් වූ ඉතිහාසයක් ද පවතින නිසා ගැටලුව යුදමය වශයෙන් පමණක් අවසන් කළ හැකි යැයි ආණ්ඩුව විශ්වාස නොකරන බවත් කීය. එසේම ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේදී පැතිකඩ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කිරීමට රජයට සිදුව තිබෙන බවද කීවේය.
යුද්ධය සාර්ථකව අවසන් කළද ඉන්පසු ලෝකය සමඟ ගනුදෙනු කිරීමේදී යම් යම් අවස්ථාවල නම්‍යශීලීව කටයුතු කිරීමට රජයට සිදුවන බවද ඇමැතිවරයා අවධාරණය කළේය. ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසුවේ ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවේදී කේ.පී. සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇමැති කෙහෙළි ය රඹුක්වැල්ල මහතා එහිදී මෙසේද පැවැසීය.
ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කරලා ඉවරයි. ඒ නිසා දැන් තුවක්කුව සමඟ නොව ශීලාචාර අන්දමින් මනුෂ්‍යත්වය පෙරදැරිව ප්‍රශ්නයේ ඉතිරි කොටස් විසඳා ගන්නැයි කියන මතවාදය විශාල වශයෙන් සමාජයෙන් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්. කේ.පී. අල්ලා ගත්තේ ශ්‍රී ලංකා හමුදාව සහ බුද්ධි අංශ මිස ජාත්‍යන්තර පොලීසිය නොවෙයි. අපගේ බුද්ධි අංශ එදා සිදු කළේ ජාත්‍යන්තර පොලීසියට නොහැකිවූ දෙයයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ රංජන් ධර්මවර්ධන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

No comments:

Post a Comment