Wednesday, October 10, 2012

අධිකරණයට එරෙහිව විධායකය විසින් දියත් කල නීති විරෝධී මැදිහත්වීමේ ක‍්‍රියාවලියේ දිගුවක්


මංජුල තිලකරත්න මහතාට එල්ල කළ ප‍්‍රහරදීම මෙරට නීතියට සහ අධිකරණ පද්ධතියට එල්ල කල ප්‍රහාරයක් බවත් එම ප‍්‍රහාරය තරයේ හෙළා දකීන බවත් සඳහන් කරමින් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය (IHR) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
එම සංසදයේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම නිවේදනය සම්පූර්ණයේන්ම පහතින් පළවේ.
"අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න
මහතාට එල්ල කල ප‍්‍රහාරය මෙරට නීතියට සහ අධිකරණ පද්ධතියට එල්ල කල ප‍්‍රහාරයක් ලෙස දකින මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය (IHR) එම ප‍්‍රහාරය තරයේ හෙළා දකී.
සිද්ධිය පිළිබඳ වාර්ථා වන තොරතුරු වලට අනුව මෙම මිලේඡ්ච ප‍්‍රහාරයේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවිය නොහැක. මෙරට අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම නිළධාරීන්ට රජය ආරක්‍ෂාව ලබා දී නැති අතර ප‍්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට අධිකරණ සේවා කොමිසමට එරෙහිව බරපතල විවේචන සහ වාග් ප‍්‍රහාර විධායකය විසින් සිදුකරමින් පැවැති බව නොරහසකි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බාධා වන අයුරින් මැදිහත් වීමට විධායකය දරණ උත්සාහයකට අවනත නොවීම හරහා විධායකය සහ අධිකරණය අතර  මතභේදයක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය. මේ පිළිබඳව කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතා 2012/09/18 දින නිකුත් කළ නිවේදනය මගින් පැහැදිලි කරන ලදී. එමෙන්ම එම නිවේදනයෙන් පසුව 2012/09/28 දින ඔහු විසින් ඉදිරිපත් කළ නිවේදනයෙන් දැක්වුනේ අධිකරණයේ ඉහළම නිළධාරීන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට තර්ජන සහ බලපෑම් එල්ල වන බවයි.
මේ අනුව මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප‍්‍රහාරය අධිකරණයට එරෙහිව විධායකය විසින් දියත් කල නීති විරෝධී මැදිහත්වීමේ ක‍්‍රියාවලියේ දිගුවක් බවට ඒත්තු ගැන්වෙන බැවින් මේ පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට රජයට නොහැකිය.
විදේශ බටහිර හෝ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් ලෙස මෙම මිලේඡ්ච ප‍්‍රහාරය හැදින්වීමටත් ජනතාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව නොමග යැවීමටත් ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරමින් සිටින අතර මේ පිළිබඳව සිදුකරනු ලබන පොලිස් පරීක්‍ෂණ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි තතත්වයක් උදා වී ඇත.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවතීමට නම් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර සංවරණ සහ තුළන තත්වයක් පැවතිය යුතු වුව ද විධායකය විසින් අධිකරණයේ කටයුතු වලට මැදිහත් වීම හරහා අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීමටත් ඒ පිළිබඳ වන ජනතා විශ්වාසය පලුදු කිරීමටත් හේතුවන සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේ සිදුවිය.
අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය කරන සියලු දේශපාලන මැදිහත් වීම් වහා නවතා දමන ලෙසත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන ලෙසත් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය රජයට බලකර සිටී."

No comments:

Post a Comment