Wednesday, August 22, 2012

අද සිට කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ජන්ද වැඩට


ලෝක ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට හා පූජනීයත්වයට පාත්‍රවූ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ 19 දින ශ්‍රී ලංකාවට වැඩම කළහ. ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත්කර ඇති එම ධාතූන් වහන්සේ අවසන් වරට 1978 වසරේදී ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද අතර එය බුදුරජාණන් වහන්සේගේ පස්වැනි ශ්‍රී ලංකා ගමනය ලෙස ද සැලකේ. වසර 34 කට පසුව ශ්‍රී ලංකාවට වැඩි මේ ධාතූන් වහන්සේලා ලාංකීය බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙති.
ඉන්දියාවේ සිට වැඩම කළ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සංස්කෘතික කටයුතු ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා වෙත පිළිගන්වන ලද අතර ධාතූන් වහන්සේ මහත් හරසරින් පිළිගත් ජනාධිපතිවරයා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනය මධ්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේ විශේෂ මණ්ඩපයක තැන්පත් කළේය.
මෙම ධාතූන් ප්‍රදර්ශනය කෙරෙන සෑම දිනෙකම උදෑසන, දහවල්, සවස ශබ්ද පූජාවන් සමඟ තේවාවන් පැවැත්වේ.
 සැප්තැම්බර් මස 05 දක්වා දිස්ත්‍රික් හතකදී ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන අතර දිවා රාත්‍රී දෙකෙහිම ධාතූන් වහන්සේ වන්දනා මාන කැර ගැනීමට මහජනතාවට ඉඩ සැලැසේ.

සර්වඥ ධාතුන් වහන්සේ කටුනායක සිට කැලණිය මානෙල්වත්ත විහාරයට පමණක් රිය පෙරහරකින් වැඩමවනු ලබන අතර සෙසු සියලු ස්ථානවලට හෙලිකොප්ටර් යානයකින් වැඩම කෙරෙති. කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරනු ලබන සියලු ස්ථානවල අධි තාක්‍ෂණික කැමරා සවි කර තිබේ. ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා සුදුවතින් සැරැසී පැමිණෙන ලෙසත් අනවශ්‍ය ගමන්මලු ආදිය රැගෙන නොඑන ලෙසත් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ පවසති.
කපිල වස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කළ හැකි ස්ථාන

කැලණිය මානෙල්වත්ත විහාරය - අගෝ. 19, 20, 21
පැල්මඩුල්ල රජමහා විහාරය - අගෝ. 22, 23
අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය - අගෝ. 24, 25, 26
කන්තලේ අග්‍රබෝධි විහාරය - අගෝ. 27, 28
ගම්පොළ නාරංවිට ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය - අගෝ. 29, 30
වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන - අගෝ. 31. සැප්. 01
මාතර කොටිකාගොඩ රජමහා විහාරය - සැප්. 02, 03, 04, 05
පළාත් සභා ජන්දය පැවතෙන ප්‍රදේශ වලදී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශණය අද ඇරඹෙන අතර එම ප්‍රදේශ වලදී ජන්ද කටයුතු සදහා මෙම සර්වඥ ධාතුන් වහන්සේ  යොදා ගැනීමට ආණ්ඩු පක්ෂ අපේක්ෂකයින් සූදානමින් සිටින බව ආරංචි මාර්ග සදහන් කරයි. මේ පිළිබද තවත් පුවත් ඉදිරියේදී බළාපොරොත්තු වන්න.

No comments:

Post a Comment