Saturday, August 11, 2012

දේශපාලන සිරකරුවන් පිළිබදව රටේ ජාතික නීතියටත් ජිනීවා සම්මුතියටත් පටහැනියි


සිරකරුවන් ඝාතනය කරීම සියලු මානව සම්මුතීන්ට පටහැනිව යාමක් යැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එම සංසදයේ ප්‍රචාරක ලේකම් නීතීඥ චමින්ද ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.
"පසුගිය ජුනි 28 දින වවිනියාව බන්ධනාගාරයේදී එහි රැදවියන් සහ ආරක්ෂක නිලධාරින් අතර ඇතිවු ගැටුමේදී තවාල ලැබු දෙවන රැදවියෙකුද රාගම මහරෝහලේ දඩිසත්කාර ඒකකයේදි මියයාම නීතියේ රාමුව අබිබවමින් මෙහෙයවන අත්තනෝමතික හස්තයක කෲරත්වය සහ රජයේ වගකිමි විරහිත ක‍්‍රියාකලාපය නැවත නැවතත් තහවුරු කරන
අවාසනාවන්ත සිද්ධියක් බව මානව හිමිකමි පිළිබද විද්වත් සංසදයේ අදහසයි.
යාපනයේ පයිතර්හි පදිංචි 34 හැවිරිදි දිල්රුක්ෂාන් වවිනියා බන්ධනාගාරයේදී ඇතිවු සිද්ධියේදී තවාල ලබා මිය ගිය දෙවැන්නා‍වේ. මිට පෙර ජූලි 04 දින රාගම රෝහලේදීම වවිනියාවේ පදිංචි නිමලරූබන් නැමැත්තාද මරණයට පත්විය.
මෙම සමස්ත සිදුවීමම ආරක්ෂක අංශවල හැසිරිම ජුගුප්සාජනක වු අතර බරපතල තවාල ලැබු නිමලරූබන් රෝහලට ඇතුළත් කළේ දින ගනණාවකට පසුවය. ඔහු කෲර වදහිංසාවලට ලක්කර තිබු බවටද චෝදනා එල්ලවේ. එමෙන්ම දිල්රුක්ෂාන් රෝහලකට ඇතුලත් කරන ලද්දේ දින 6කට පසුවය.
ජුලි 04 දින මිය ගිය නිමලරූබන්ගේ මෘත දේහය ලබාගැනිමට ඥාතීන්ට අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනිමට සිදුවිය. වව්නියා බන්ධනාගාරයේ සිදුවු සිද්ධිය පිළිබඳ රජයට එල්ලවු චෝදනා හමුවේ ඒ පිළිබඳ පරික්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ උපදේශකවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළද මාසයකට අධික කාලයක් ගතවී ඇතත් ඒ ගැන විධිමත් වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් කරනොමැත.
මෙම සිද්ධියේදී රැදවියන් දෙදෙනෙකු මියගොස් ඇතත් මෙම පහරදීම්වලට වගකිවයුතු කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. බන්ධනාගාර රැදවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට රජය බැඳී සිටින අතර මෙවැනි ඝාතන බරපතල මානව හිමිකමි උල්ලංඝනය කිරිමක් ලෙස සැලකෙන අතර එම වගකීමෙන් මිඳීමට රජයට නොහැක.
මෙම අවාසනාවන්ත සිදුවීම මගින් නැවත වරක් තහවුරු කර ඇත්තේ මෙරට බන්ධනාගාරවල, විශේෂයෙන් දේශපාලන සිරකරුවන් පිළිබදව රටේ ජාතික නීතියට පිටින්ද ජිනීවා සම්මුතියට පටහැනිවද රජයේ බලධාරින් කටයුතු කරන බවයි.
රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටීමත් ජනතාවගේ මානව හිමිකම් සහ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කොට ඇති මුලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරන බරපතල අරාජික තත්ත්වයක නවතම ප‍්‍රකාශනයක් ලෙස මෙම සිද්ධිය හැඳින්විය හැක.
මෙම තත්වය පරාජය කිරිම සඳහා සියලු සිවිල් සංවිධාන සහ මානව හිම්කමි ක‍්‍රියාකාරීන් ඒකරාශී විය යුතු බව මානව හිම්කමි පිළිබද විද්වත් සංසදය අවධාරණය කර සිටී."

No comments:

Post a Comment