Tuesday, July 31, 2012

තැපැල් කාර්යාලයක් මැතිවරණ කාර්යාලයක් බවට


මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තරගවදින පළාත් සභා අපේක්‍ෂක එම්.එස්.සුබෙයිර් මහතා (හිටපු සෞඛ්‍ය අමාත්‍ය) එරාවූර් තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පළමු මහලේ සිය මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යන බව කැෆේ සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා‍ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපියක මේ බව දැක්වෙයි. එහි මෙසේද සඳහන්ය.
මඩකළපුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා
අපේක්‍ෂක එම්.එස්.සුබෙයිර් මහතා (හිටපු සෞඛ්‍ය අමාත්‍ය) එරාවූර් තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පළමු මහලේ මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යයි. මෙම කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුව සතු භූමියකි.
මෙම කාර්යාලය 2006 ජනවාරි 17 දින හිටපු අමාත්‍ය අමීර් අලී මහතා වෙත ලබා දී ඇත්තේ එක් වසරක් සඳහා ය. එයින් පසුව අවස්ථා ගණනාවක දී මෙම කාර්යාලය පිහිටි ඉඩකඩ නැවත ලබා ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව උත්සහ කර ඇත. පළාත් සභා ඡන්ද විමසීම ආරම්භ වීමෙන් පසුව ද, මෙම ගොඩනැගිල්ල නැවත ලබා දෙන ලෙස තැපැල්පති විසින් 2012.07.26 දින ද ඉල්ලීමක් සිදු කර ඇත.
මෙම ඉල්ලීම් සම්බන්ධව අපේක්‍ෂක එම්.එස්.සුබෙයිර් යහපත් ප‍්‍රතිචාර දක්වා නැත. මෙම කි‍්‍රයාව නැගෙනහිර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ විසින් නිකුත් කළ 30.06.2012 දිනැති පීසීඊ/2012/04 දරණ චක‍්‍ර ලේඛනය උල්ලංඝණය කිරීමකි.ඊයේ සහ අද දින මෙම ස්ථානය නිරීක්‍ෂණය කළ කැෆේ සංවිධානයට පෙනී ගියේ මැතිවරණ නීතියේ අල්ලස්දීම කොටස යටතට ගැනෙන ආකාරයේ සිදුවීම් මෙම ස්ථානයේ සිදුවන බවයි.
මහන මැෂින්, බයිසිකල් ඇතුළු ද්‍රව්‍ය ද වියළි ආහාර ද්‍රව්‍ය ද ඡන්දදායකයින් වෙත බෙදාදීම සඳහා මෙම ස්ථානයේ ගොඩ ගසා ඇත. එරාවූර් තැපැල් කාර්යාලය පවත්වාගෙන යන්නේ බිම් මහලේ ඉතා සීමිත ඉඩකය. එහි මේ වන විට අදාළ පළාත් සභා අපේක්‍ෂකයා බලහත්කාරයෙන් රැඳී සිටින බිම් කොටස එරාවූර් තැපැල් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස වේ.
එරාවුර් හි පිහිටි තැපැල් කාර්යාලයකින් මෙයට පෙර 1994 දී නිල ඡන්ද දැන්වීමේ පත‍්‍රිකා සොරකම් කිරීමක් සිදු වූ බව ඔබ දන්නා කරුණකි. එම සිද්ධිය සම්බන්ධයෙන් එවකට වැඩබලන තැපැල් ස්ථානාධිපති ඇතුළු තැපැල් සේවකයින් තිදෙනෙකු රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබීය. එරාවූර් ප‍්‍රදේශය පසුගිය 2008 පළාත් සභා මැතිවරණයේ දී බලවත්ම අයුරින් ඡන්ද දුෂණ සිදු වූ බව ඔබතුමන් වෙත නැවත සිහිපත් කරමි.
ඒ අතර ඡන්ද කාඞ්පත් බලහත්කාරයෙන් ලබා ගැනීම ද ඇතුළත් වේ. මෙම පළාත් සභා මැතිවරණයේ දී ද ඡන්ද දැක්වීමේ පත‍්‍රිකා බෙදා හරිනු ලබන තැපැල් කාර්යාලයේ අපේක්‍ෂකයෙකු බලහත්කාරයෙන් රැදී සිටීම නිදහස් මැතිවරණයක් පැවැත්වීමට කිසිසේත් ආධාරවන තත්ත්වයක් නොවේ.මේ පිළිබඳ ඔබගේ දැඩි අවධානය යොමු කොට අදාළ කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් ඉවත්කිරීමට නිසි පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

No comments:

Post a Comment