Tuesday, July 31, 2012

වීදි ලාම්පුවටත් බද්දක්


අගෝස්තු 01වනදා සිට දිවයිනේ වීදි ලාම්පු වලින් සියයට 50ක් නිවාදැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.
පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (31) පැවති
විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
දිවයින පුරා ස්ථාපිත කර ඇති මුළු වීදි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ
නීත්‍යානුකූල අවසරය සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති විදි ලාම්පු ප්‍රමාණය ලක්ෂ 04කට අඩු බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
අද වන විට ජල විදුලි උත්පාදනය ඉතා සීමිත තත්ත්වයකට පත්ව ඇති හෙයින්, රාත්‍රියේ දැල්වෙන එක් වීදි ලාම්පුවක් වෙනුවෙන් වැයවන මුදල ඉහළ ගොස් තිබේ. එක් රාත්‍රියකට එක් වීදි ලාම්පුවකට විදුලිය සඳහා පමණක් වැයවන මුදල රුපියල් 150 ඉක්මවයි. වර්ෂා අවසානයේ ලංවිම ශේෂ පත්‍රයේ වීදි ලාම්පු සඳහා වන විදුලියට අයවිය යුතු මුදල් වශයෙන් රු. මිලියන 1200ක්, 1400ක් අතර අගයක් එකතු වේ.

මෙම සියළු තත්ත්වයන් සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා අද රැස්වු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ, හෙට සිට තම බල ප්‍රදේශයන්හි පවතින වීදි ලාම්පු වලින් එකක් හැර එකක් දැල්වීමට පියවර ගන්නා ලෙසය. ඒ අනුව දිවයිනේ වීදි ලාම්පු වලින් 50%ක්, හෙට සිට නිවා දැමෙනු ඇත.
මෙම ක්‍රියාවලිය සම්බන්ධව පූර්ණ විගණනයක් සිදුකර ලබන සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන අතර එය එක් එක් පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාල විගණනයේ දත්ත සැලකිල්ලට ගෙන එම එක් එක් ප්‍රදේශ වල වීදිලාම්පු සඳහා වන විදුලි බිල්පත ගණනය කිරීමටත්, ඊට අදාල ගෙවීම් ලංවිමට හෝ ලෙකෝ ආයතනයට සිදුකරන්නේ කව්රුන්ද යන්න පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග මේ මාසය ඇතුළත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට වීදි ලාම්පු නඩත්තුව, අක්‍රීය බල්බ මාරුකර කාර්යක්ෂම විදුලි බල්බ යෙදීම වැනි කරුණු සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
නමුත් ආසියානු සංවර්ධන බැංකුව මෙම මුදල් ගෙවන්නේ නැත. ඒවා ජනතාව විසින් ගෙවීම ධනවාදයේ සූත්‍රයයි. වීදි ලාම්පු බද්ද ක්‍රියාත්මක කිරීම කොට ධනවාදය සුරැකීම චම්පික රණවක මහතා මත පැටවුන මහත් වගකීමකි. 

No comments:

Post a Comment