Monday, June 18, 2012

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි


හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිත දෙකක් බිලි ගනිමින් හා තවත් පිරිසකට තුවාල සිදුකරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමේ පූර්ණ වගකීම භාරගත යුත්තේ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය කමිටු කැඳවුම්කරු මංගල සමරවීර මහතා පවසයි.

වෙඩි තැබීම් සිදුවූ මෙම ප‍්‍රදේශය රාජපක්ෂ පවුලේ දේශපාලන අධිකාරය පවත්වාගන්නා
ප‍්‍රදේශයක් වන බැවින් එය වඩාත් අවධාරණයෙන් කිවයුතු බව ද මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙම ප‍්‍රදේශයේ සන්නද්ධ කල්ලියක් ටී 56 ගිනි අවිකු අතැතිව ප‍්‍රසිද්ධියේ සැරිසර බව හම්බන්තොට ජනතාව හොඳින් දන්නා බවත්, ඔවුන්ට එරෙහිව කිසිවක් පොලීසියට කළ නොහැක්කේ ඔවුන්ට රාජපක්ෂලාගේ ආවරණය ලැබෙන බැවින් යැයි ප‍්‍රදේශවාසීහු සඳහන් කරන බවත් සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.

ඒ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.
"
ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා ඕනෑම දේශපාලන පක්ෂයකට විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කටයුතුවල නිරතවීමට ඇත්තේ සීමා තහංචිවලින් තොර සමාන අයිතියක් බැව් අපි අවධාරණයෙන් සටහන් කරන්නෙමු. ඒ අනුව රටේ ඕනෑම ප‍්‍රදේශයක එලෙස දේශපාලනයේ නිරතවන්නට හැකි පසුබිමක් වාතාවරණයක් සහතික කිරීම ආණ්ඩුවේ පුර්ණ හා පරම වගකීමකි.

මෙතෙක් සිදුකෙරුණු ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ විරෝධය පළකෙරූවන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු ස්වාධීන පරීක්ෂණ හෝ අවසන් නීතිමය පියවර නොමැති අයුරින්ම මේ ද්විත්ව ඝාතනය ද ඉතිරි වන බව අපගේ විශ්වාසය ය. විපක්ෂයේ දේශපාලනඥයින් කියන ආකාරයේ අපරාධ වැඩිවී නැතැයි නන් දොඩවන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ කාර්යක්ෂමතාව එවැනි ය.

එහෙත් අප ඉතා දැඩිව විශ්වාස කරන අයුරු පොලිස් දත්ත අනුව 2010 වසර තුළ බරපතල ලෙස ඉහළ ගොස් ඇති ළමා අපචාර ද ඇතුළත්ව, ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසා 1,847 ක් සඳහා ද, කප්පම් ගැනීම් 103 ක් සඳහා ද, පැහැරගැනීම් 877 ක් සඳහා ද, 2011 වසරේ පළමු මාස 03 ඇතුළත වාර්තා වූ ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසා 471 ක් ද, කප්පම් ගැනීම් 18 ක් ද, පැහැර ගැනීම් 235 ක් ද ඇතුළත් විවිධාකාර අපරාධ 12,281 ක් සඳහා ආරක්ෂාවත් නීතිය හා සාමය පවත්වා ගැනීමේ වගකීමත් ඒ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා වගකීමත් තමන් අත තබාගෙන ඇති ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හැම ආකාරයෙන්ම වගකිව යුතු වන්නේ ය.

ඒ අතරම පළමුවරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොන්ත‍්‍රාත් මිනීමැරුම් සඳහා චෝදනා ලබන්නේත්, හමුදා නිලධාරියෙකු මුදලට මිනීමරා හසුවන්නේත් මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ ධුර කාලයේ දී බවත් සිහිපත් කළ යුතුවෙමු. එමෙන්ම පොලිස් අත්අඩංගුවේ දී තරුණයින් ඝාතනය කිරීමට විරෝධය පාමින් ගම්වාසීන් පොලිස් ස්ථාන දෙකක්ම වටලා පහර දුන්නේ ද මේ ලේකම්වරයාගේ කාලයේදීම ය.

පරිපාලන සේවයට ද අයත් නොවන ඉතා වැදගත් අමාත්‍යාංශයක් භාරව ඉන්නා එවැනි අකාර්යක්ෂම ලේකම්වරයෙකු නිසාවෙන් මේ රට අවනීතියට ගොදුරුව අරාජික වන්නට ඉඩ දිය නොහැක. දේශපාලන හිතවත්කම් කවරක් වූවත් මේ රටේ ජනතාවට නොවිසඳන අපරාධ හා දේශපාලන අනුග‍්‍රහයෙන් අපරාධ සිදුකරන පාතාල කල්ලි සමගින් ජීවත්විය නොහැක. තමන් ඉතාම අසාර්ථක රාජ්‍ය නිලධාරියෙකු බව පිළිගැනීමට ද ඔහු සූදානම් නැත.

එනිසාම කටුවන දී සිදුකෙරුණු මේ ද්විත්ව ඝාතනයත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු අනතුරුව ස්වාධීනව කෙරෙනු ඇතැයි විශ්වාසයක් අපට කොහෙත්ම නැත. එනිසාම හා ඒ සියලු කාරණා නිසා මෙම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එම ධුරයෙන් වහා ඉවත් කර, නීතිය හා සාමය යළි තහවුරු කිරීමේ පළමු පියවර ලෙස එම තනතුරට පරිපාලන සේවාවේ ඉහළ නිලධාරියෙකු පත්කරන මෙන් අපි ඉල්ලා සිටිමු"

1 comment:

  1. UNP mulasthanayata gal gahanakam bala idapu nayakaya....??

    ReplyDelete