Wednesday, June 27, 2012

අවස්ථා දෙකේදීම විශ්වවිද්‍යල සුදුසුකම් ලබන සියලු සිසුන් විශ්වවිද්‍යාල වලට බඳවාගත යුතුයි


ධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතාගේ කාර්යයභාරය වී ඇත්තේ දෙබානක් ලෙස හැමතැනටම ඇනීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

එස්.බි. දිසානායක අධ්‍යාපන ඇමති වුවද ළමුන් , ආචාර්යවරුන්, අනධ්‍යන සේවක මණ්ඩලය පාරට බැස ඇති බව දිසානායක මහතා සඳහන් කරයි.


මෙරට අධ්‍යාපනයට සිදුකරන ලද බරපතළම විනාශය සිදුකළේ මෙම දෙබාන විසින් බව (26) පැවති මාධ්‍ය
හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.


සාමාන්‍ය පරිදි වසර 07 ට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනසට අනුව නවත් සහ පැරණි ලෙස විෂය නිර්දේශයන් 02 ක් ඇතිවූ බවත් ඒ අනුව පැවති පසුගිය වසරේ විභාගය මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීම සම්බන්ධයෙන් විවිධ විරෝධතා එල්ල වූ බව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

විභාගය සඳහා මුහුණ දුන් සිසුන්, මව්පියන්, ගුරුවරුන්, විද්වතුන් සඳහන් කරයි නම් මොළේ කළඳක් තිබෙන ඇමතිවරයෙක් සිටියේ නම් කළ යුතුව තිබුණේ මෙම ප‍්‍රතිඵල තාවකාලිකව නතර කිරීම බව ද හෙතෙම කියා සිටියේය.

නමුත් ඇමති දෙබාන විසින් විසුළුකාරී ලෙස හැසිරෙමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තක්කඩි ලෙස සිසු දුවා දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කළ බව අනුර දිසානායක මහතා චෝදනා කර සිටියේය.

මෙවැනි සිදුවීම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් විය යුතු නොවන බවත්, එය අධ්‍යාපනයේ පරිපාලන ප්‍රශ්නයක් බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට එම ප්‍රශ්නයට මැදිහත්වීමට සිදුවූ බව ඒ මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් z-score ගණනය කළ ක‍්‍රමවේදය වැරදි බවත් එය නිවැරදි කරන ලෙසට ලබාදුන් තීරණය නිසා ගියවර විශ්වවිද්‍යාලයට සිදුසුකම් ලද දරුවෙකුක් දැන් සුදුසුකම් නොලැබිය හැකි බව ඔහු පෙන්වාදුන්නේය.

දැන් සිදුකළ යුතුව ඇත්තේ එම අසාධාරණයට ලක්වූ සිසුන් සඳහා උපරිම සාධාරණය ඉටුකිරීම බවත්, ඒ සඳහා පසුගිය වර තේරුණු සිසුන් සහ මෙවර තේරුණ සිසුන්ගේ ලකුණු අගයන්වල පහළ මට්ටමේ සිට සියලු සිසුන් විශ්වවිද්‍යාලයට බඳවාගත යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මෙම දරුවන්ට සාධාරණය ඉටුවන පරිදි ගියවර තේරී පත්වූ සිසුන් ඇතුළත් වන පරිදි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා සිසුන් ප‍්‍රමාණය වැඩිකරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් ඒ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් සිය කාර්යයභාරය නිසි පරිදි ඉටුකරන්නේ ද යන්න පිළිබඳව අධීක්ෂණය කළ යුතුව ඇති බවත්, නමුත් ජනාධිපතිවරයා ජනාධිපතිකම හැර සෙසු සියලුම කාර්යයන් ඉටුකරන බව ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment