Monday, June 18, 2012

මැදමුලනෙන් කිරිපොවන දඩබල්ලා බැඳ දමනු


කටුවන ඝාතනයත් සමග ආණ්ඩුව දිගින් දිගටම රැකගැනීමට වසංකිරීමට තැත්කරන පුද්ගලයෙක් අපට හමුවේ. ඒ ඝාතන 22 - ස්ත්‍රී දූෂණ 11 - කොල්ලකෑම් 13 කට සම්බන්ධ ජුලම්පිටියේ අමරේ නැමති මැරයාය.  ජුලම්පිටියේ අමරේ ආණ්ඩුවට කොතරම් වැදගත්ද යත් කටුවන ඝාතනය සිදුවූ සැනින් ආණ්ඩුව ප්‍රකාශ කලේ මෙම සිදුවීම ජවිපෙ අභ්‍යන්තර ගැටුමක් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ ජවිපෙ තුලම වූ සිද්ධියක් විය හැකි බවයි. කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ තවම
පැමිණිල්ලක් නොලැබුණ බවයි. ජනාධිපතිවරයාගේ ගමේදී සිදුවූ  ඝාතන සම්බන්ධයෙන් මෙතරම් විහිළු සහගත වැඩ කරමින් ඝාතකයින් සගවන්නේ ජූලම්පිටියේ අමරේ ආණ්ඩුවට ඉතා වැදගත් පුද්ගලයෙක් නිසා විය යුතුය. මේ අමරේ සම්බන්ධයෙන් ලංකා ඉරිදා පුවත්පතේ 2012 මැයි 13 දින පලවූ ලිපිය සම්පූර්ණයෙන්ම පල කරන්නේ එම නිසාය.
සමානාත්මතාවයෙන් සහ ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ නිදහස, වෙනස්කමකට භාජනය වීමෙන් වැළකීමේ නිදහස, සහ සමාජ ආරක‍ෂාවේ නිදහස මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ මූලික වගන්ති තුනයි. මේවා මේ ආණ්ඩුවට අදාල නැත. යුද්ධය අවසන් වීමත් සමග ආණ්ඩුව පැවසුවේ දැන් සැක බිය නැතිව පාරේ බැහැලා යන්න පුළුවන් තත්වයක් උදාකර දී ඇති බවයි. උතුරට මෙන්ම ඒ අයිතිය දකුණේ ජනතාවටද අද නැත. පැහැරගැනීම්, මංකොල්ලකෑම්, ගිනි තැබීම්, මරාදැමීම් දිනපතා මේ රටේ සිදුවෙමින් පවතී.
ප්‍රභාකරන්ටවත් බිය නොවූ ගිරුවාපත්තුවේ ජනතාවට අද ජීවත්වීමට සිදුව ඇත්තේ දැඩි භීතියකිනි. වලස්මුල්ල, මිද්දෙණිය, තංගල්ල, වීරකැටිය, ගල්හේන්ගොඩ, තණමල්විල ජනතාව දකුණේ ප්‍රභාකරන්ගේ තර්ජනයෙන් පීඩා විඳිති.  පොලිසියට යුද හමුදාවට, පොලිස් විශේෂ කාර්ය බළකායට හෝ අධිකරණයට තවමත් මේ දඩබල්ලා මෙල්ල කිරීමට හැකි වී නැත. රටේ ඉහළම පුරවැසියාගේ සහ ඔහුගේ පුතුගේ ආශිර්වාද ලබන නිසාවෙන් මේ රාජකීය දඩබල්ලා අත්අඩංගුවට ගැනීම හෝ මොහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම උගටහය. මේ දඩබල්ලා කවුද?
මේ රටේ ඉහළම පුටුවේ සිටින තැනැත්තා ඇමතිධූර දරන කාලයේ ඔහුගේ කටයුතු සඳහා පාතාල කල්ලියක් නඩත්තු කළේය. දඩබල්ලා හුරතලයට හැදෙන්නේ ඒකාලයේදීය. රටේ ජනතාව නොදනිතත් ගිරුවාපත්තුව ඒ ගැන හොඳින් දනී. ඒ යුගයේ සිටම සාක‍ෂි නොමැතිව ඝාතනය කිරීම, පැහැර ගෙනයාම, අතපය කඩා දමා නිහඬ කිරීම, අතුරුදහන් කිරීම පිළිබඳ මේ දඩබල්ලා මැනවින් පුරුදු පුහුණු කළේය. ජනරංජන ගෙන් ලැබුණු ඕඩර් අනුව ඝාතන සැලසුම් කළේය. අතිරේක ආරක‍ෂාව ලබාදී තිබුණේ රාජ්‍ය පොලිස් සහ හමුදා නිලධාරීන් ලවාය. මුල්යුගයේ රහසිගත ඝාතනය කිරීම් තුළින් 1998 සිට මහදවල් මිනිසුන් මරා දැමීමට ධෛර්යය ලැබුනේ ශ්‍රී රෝහණ කීර්තිගේ ආරක‍ෂාව නිරන්තරයෙන් ලැබුණු නිසයි. 2005 වසරින් පසුව මල් බේබිගේ කොන්ත්‍රාත්තු ලැබුණේ ද මොහුටයි.
දකුණ හොල්ලන මේ පාතාල නායකයා ගීගනගමගේ අමරසේන නොහොත් ජුලම්පිටියේ අමරේය. ස්ත්‍රී දූෂණ 11ක් ළමා අපචාර දෙකක් මංකොල්ලකෑම් 13ක් පුද්ගල ඝාතන 22ක් පමණක් අනාවරණය වූ අපරාධ අතර වේ. මීට අමතරව දේශපාලන වුවමනාව මත රටේ විවිධ ප්‍රදේශවල මිනීමැරුම් ගණනාවකට මොහු වගකිව යුතුව ඇති බව වලස්මුල්ල, මිද්දෙණිය, තංගල්ල, වීරකැටිය, තණමල්විල, පොලිස් ස්ථාන වල අපරාධ අංශ දනී. මේ දඩබල්ලා රාත්‍රී කාලය ගතකරන්නේ මැදමුලන වලව්ව හෝ ඒ ආසන්නයේය. කාල්ටන් මැදුරේ කල් මැරීමට නිදහස තිබේ. මේ දිනවල ජුලම්පිටිය, වළස්මුල්ල, මිද්දෙණිය, වීරකැටිය යන ප්‍රදේශවල යුදහමුදා ඇඳුමින් සැරසී T56 ගිනිඅවියක් සහිතව මහ දවල් කාලයේ මොහු දඩාවතේ ඇවිදියි. වෙඩි නොවදින ඇඳුමක් T56 ගිණිඅවි කිහිපයක් වෙඩි නොවදින හෙල්මටයක් ප්‍රභූ ආරක‍ෂාව සඳහා භාවිතා කරන මිනියුසි වර්ගයේ ගිනිඅවියක් සහ අත්බෝම්බ අවශ්‍ය ප්‍රමාණයට ඔහු සතුව තිබේ.
මුළු රටේම පාතාලය මර්දනය කරන බව කියමින් පොලිස් විශේෂ කාර්ය බළකාය ලවා මිනිසුන් අමු අමුවේ මරාදැමූ රාජපක‍ෂ ආණ්ඩුව මැදමුලනේ පාතාලයට කිරිපොවන්නේ මෙලෙසිනි. බටහිරට කත් ඇද දේශප්‍රේමීන් ලෙස පෙනීසිටින්නා සේම පාතාලය නිහඬ කර ඇති බව පවසමින් ගිරුවාපත්තුවේ පාතාලය රජකරවයි. මේ පාතාලයේ අවි ආයුධ ආරක්ෂා කිරීම සඳහා චීවරධාරීන් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති.
එක් අයෙකු විතාරන්දෙණිය මල්හේවගේ අයින පංසලේ ලොකු හාමුදුරුවෝය. ස්ත්‍රී දුෂණ නඩු කිහිපයක් මේ චීවරධාරියාට එරෙහිව තවමත් විභාග වෙමින් පවතී. අමරේ පැහැර ගෙන එන කාන්තාවන් අමරේගෙන් පසුව මේ බුද්ධ පුත්‍රයාට පිරිකර ලෙස ලැබේ. ඇසින් දුටුවද ගම්වාසීන් කටනාරින්නේ අමරයාගේ උණ්ඩ සිරුර විනිවිද යාදෝ යන බියෙනි. අප්‍රසන්න සිදුවීම ඔබ හමුවේ තැබීම පිළිබඳව සමාවන්න.
ජුලම්පිටිය රුක්වතුගොඩ හීල්ලගොඩ අයින පංසලේ ලොකු හාමුදුරුවෝ ද එසේය. අමරේගේ ගිණිඅවි මෙන්ම ජඩවැඩ සඳහා ආවාස ගේ මෙන්ම දේවාල කුටියද නිර්ලෝභීව පිරිනමන්නේ පිරිකර ලෙස ස්ත්‍රී පරාණයක් ලැඛෙන බැවිණි. මේ අත්දැකීමට මුහුණදුන් කාන්තාවෝ බුදුන්වහන්සේටත් ශාප කරති.  ඔවුන් නිහඬ වී සිටින්නේ අහිමි වූ කන්‍යාභාවයට වඩා ජීවිතයට ආසා කරන බැවිනි. ගීගනගමගේ අමරසේන නොහොත් ජුලම්පිටිය අමරෙට වරෙන්තු ගණනාවක් තිබේ. එහෙත් කිසිදු පොලිසියක් විසින් ඔහු අත්අඩංගුවට නොගනී. අමරේ සිටින තැනකින් පොලිසිය යන්නේ ඔහු නොදුටු විලසිනි. T56 කරේ එල්ලගෙන සිටින අමරේ දිහා බැලු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේම කන පැලෙන්නට සාත්තු කරතිබේ. රාත්‍රී කාලයේ සිය සගයන් සමග ගමන් බිමන් යනනේ අමරේ වෙඩි නොවදින ඇඳුමත් හෙල්මටයත් පැළඳ යති. යුද හමුදා ඇඳුම අඳින නිසාම බොහෝ අය හමුදා නිලධාරියෙකු යැයි මුලාවේ. ඔහුට ඇත්තේ හමුදාවට හෝ පොලිසියට ඇති බලතල ඉක්මවා ගිය බලයකි. ඉකුත් මැයි 7 වැනිදා ජුලම්පිටිය අතුරු  මාර්ගයක යතුරු පැදියෙන් අමරේ ගමන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා ඇඳුමකින් සැරසීගෙනය. T56 ගිනිඅවිය සඟවා ගැනීමකින් තොරව ඔහුගේ අතේය. නාවික හමුදාවෙන් පැන ආ සෙබල මිරිස්ස සමන්, අග්ගරහැරගේ ගෙදර මහතුන්ගේ පුතා සුදුබේබි, තංගල්ල අරඹේකෙමේ බතල හීන් මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඇඹිලිපිටිය ප්‍රා:සභා මන්ත්‍රී වාසනා පොඩ්ඩා නොහොත් පනාමුරේ පොඩ්ඩා කිරි ඉබ්බන් ආර තල්අතු වාඩියේ එරන්ද සොහොයුරන්, සුරියවැව මහගල් වැවේ ජානක හෙවත් කුරුල්ගම්බාරයාගේ පුතා මහගල් වැවේ පැට්ටාද සේවය කරයි. අමතරව බුලට් රංජි, වතුසුද්දා, ආටිජිනේ, පොලිස් වසන්ත, බක්කු යන නම් වලින් හඳුන්වන හමුදාවෙන් පැන ආ සෙබලූන් කිහිපදෙනෙක් ද සිටිති.
ගීගනගමගේ අමරසේන නොහොත් ජුලම්පිටිය අමරේ නොහොත් මැදමුලනේ රාළහාමි විසින් සදාකාලික අබ්බගාතයන් කළ පිරිස 61 ට වැඩි බව ජුලම්පිටිය ප්‍රදේශවාසීහු කියති. අතපය කඩා දැමීමෙන් එක්තැන් වූ, වෙඩි තැබීමෙන් තුවාල ලද සහ දත් ගලවා දමා දෑස් පිළිස්සූ කිහිපදෙනෙක් සිව්මහ බඹුන්ටත් ශාප කරති. අපි ඡන්දේ දුන්නේ මේ ජනාධිපතිතුමාට.. අපිට නිදහසේ ඉන්න දුන්නේ නෑ. ගෙවල් ගිනි තිබ්බා, දරුවෝ මැරුවා, අපි අබ්බගාත කළා, පොලිසිය පැමිණිලි භාරගත්තේ නෑ. ජනාධිපතිතුමාට මේ ගැන පෙත්සම් යැව්වා වැඩක් වුනේ නෑ. එයා රජපුටුවට ගියා. අපිට ජීවිතේ නැති වුනා. එහේ ප්‍රභාකරන් මැරුවේ. මෙහේ අමරේ කියලා ප්‍රභාකරන් හදලා.
ගිනිපෙට්ටියක් නැති වුනත් ගෙදර කරුවලේ ඉන්නවා. බත උයන්නේ නැතිව එළිවෙනකං ඉන්නවා. කෙල්ලෙක් කොල්ලෙක් පාරට පිටත් කරන්නේ නෑ. මගේ අම්මපා.. හැඬූ කඳුලින් පවසන අම්මාවරු මේ ප්‍රදේශයේ හිඟ නැත.
ජුලම්පිටිය අමරේ යුද හමුදා සෙබලෙකු මරා දැම්මේ 1998.06.08 දිනයි. ජුලම්පිටිය අන්දිරිස්වත්ත නිවසේ සිටි ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ අබේවර්ධන කංකානම්ගේ කීර්ති නිවසට නුදුරින් මහපාරේදී මරා හිස කෙඳන් වෙන් කළේය. T56 ගිනිඅවියෙන් වෙඩි තබනු කිහිපදෙනෙකු දුටුවද අමරෙට බයේ ඔවුහු මේ ඝාතනය සදාකාලික රහසක් සේ තබාගෙන සිටිති.
කීර්ති මරාදමන්නේ හමුදාවට අවශ්‍යම මොහොතකයි. ඔහු කොටි ත්‍රස්තවාදින් අතින් මැරුම්කෑවානම් මව්පියන්ට මේ තරම් වේදනාවක් නැත. එහෙත් නිවසේ තුන්දොරකඩ රාජපක‍්ෂ පාතාලයට ඔහු ගොදුරු විය.
කීර්තිගේ අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුනේ 98 ජූනි 10 වන දිනයි. 9 වන දින රාත්‍රී පාබල හමුදා බට පිරිසක් කීරිතිගේ නිවසට පැමිණියේ ආරක‍ෂක හමුදා උත්තමාචාර මැද කීර්තිගේ අවසන් කටයුතු ඉටු කිරීමටයි. එදින රාත්‍රී නිවසට පැමිණි අමරේ අත්බෝම්බයක් දමා ගැසීය.
මළගෙදර උන් සියල්ලන් සීසී කඩ විසිර ගියහ. හමුදා අනුඛණ්ඩය තමන් ආ බසයේම නැගී යළි කොළඹ ගියේය. එදා මේ මැරයාට ඉඩදී අද මොරදෙන දේශප්‍රේමියොත් මුනිවත රැක්කාහ.
පුතාගේ මරණය වෙනුවෙන් සාක්කි දුන්නේ කීර්තිගේ පියා වන අබේවර්ධන කංකානම්ගේ සිරිසේන (65) හෙවත් අන්දිරිස් පුංචි මහතාය. සාක්කි දුන්නොත් තෝත් මරනවා යැයි තර්ජනය තිබියදී පුතාගේ මරණයට යුක්තිය ඉල්ලු කීර්තිගේ පියා ජුලම්පිටිය අමරේ සිය ගෝලයන් ලවා 2008.02.24 දින මරා දැම්මේය. වෙඩි වැදුණු මව තවමත් අබ්බගාතය. ගේ ගිනි තැබීය. නඩු නැත.
2005.02.28 වැනි දින ඥාති සහෝදරියගේ නිවසට යමින් සිටි රාජපක‍්ෂගේ මංජුල ක්‍රිෂාන්ත (28) අමරේ විසින් පැහැර ගෙන යනු ලැබිණි. මුරුතවෙල වැව අසලදී මරා මළසිරුර මිද්දෙනිය බෝකැන්ද යායට ගෙන ගොස් දමා තිබිණි. මේ සිදුවීම් වලට නඩු නැත. අමරේගේ ඝාතන ලැයිස්තුව තවත් දිගය. මංකොල්ලකෑම් ගණනාවකි. බලහත්කාරයෙන් අල්ලාගෙන භුක්ති විඳින ඉඩම් ප්‍රමාණය අක්කර 300 ඉක්මවයි. ඇතැම් ඉඩම්වල පදිංචිකරුවන් එළවාදමා ගෙවල් ගිනිතබා ඇත. ප්‍රදේශයේ බොහෝ පිරිසක් පණ රැකගැනීමේ අරමුණින් ජුලම්පිටියෙන් ඉවත් වී වෙනත් ප්‍රදේශ වල පදිංචියට ගොසිනි. තමන්ගේ දේපළ මේ දඩබල්ලාට කන්නට දී ඔව්හු අපාදුක් විඳිති. 2011 මැයි මාසයේ දිනක ජුලම්පිටිය පොල්කොරටුව නිවසට පැන්න අමරේ දිගට හරහට වෙඩි තැබීය. නිවස තුළ පුද්ගලයෙකු මරා අවුරුදු 9ක දරුවාට වෙඩිතබා තුවාල කළේය. අදත් ඔහු එකී කම්පනයෙනි. නඩු අංකය 125/2008. අමරෙට එරෙහිව සාක්කි දෙන්නට කව්රුවත් නැත. ඝාතනය යට ගියේය. 2001 දී ජුලම්පිටිය පංසල පාරේදී නිශාන්ත කුමාර නමැති තරුණයෙකු අමරේ විසින් මරා දැමීය. නඩු අංකය 86/2002. මීට අමතරව 18/2006,22/2003, 59/2006 යන නඩු අංක ඇත්තේ පුද්ගල ඝාතනවලට අදාලවය. තංගල්ල බන්ධනාගාරයේ ජේලර්වරුන්ට පහරදීම 70/2006 නඩු අංකය යටතේ තිබේ. මුරුතවෙල දහම්පාසලේ රෝහිත කුමාර ශිෂ්‍යයා  පැහැර ගැනීමට අදාළව 63117/2006 යටතේත් ජුලම්පිටිය පැටි අයියාගේ ත්‍රීරෝද රථය ගිනිතබා අතපය කඩා දැමීමට එරෙහිව 96236/94 යටතේත් අමරෙට එරෙහිව නඩු තිබේ. 2011 අප්‍රේල් 10 තණමල්විල අරඹේකෙමදී පුද්ගලයෙකුට පහර දී ඔහුට අයත් වෑන් රථය අමරේ විසින්ම ගිනිබත් කෙරිණි. 2012 පෙබරවාරි 23 තණමල්විල බලහරුව ප්‍රදේශයේදී ගවපට්ටියක සේවය කළ හක්මන කොන්ගහගේ පියදාසට (65) පහරදී අතපය කඩා අබ්බගාතයෙකු බවට පත් කළේය. ඔහු තවම බරපතළ තත්වයෙනි.
ජුලම්පිටියේ ගිනිතබා විනාශ කළ නිවාස සංඛ්‍යාව 9කි. වාහන 14ක්ද ගිනිතබා තිබේ. අප ඉහත කී මුරුතවෙල දහම්පාසලේ ශිෂ්‍යයා පැහැරගෙන ගිය අමරේ අත්අඩංගුවට ගැනීමට පැමිණි වීරකැටිය පොලිසියට අමරේ T56 න් වෙඩි තැබීය. මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් 30 දක්වා කප්පම් ගැනීම් ගණන 17කි. ජුලම්පිටිය අමරේ සතුව T56 ගිනි අවි දෙකක් තිබේ. ඊට අමතරව සිය ගෝලයන් සතුවද ගිනි අවි 4ක් තිබේ. නිරුපද්‍රිතව ඒවා තවමත් ඔවුන් සතුය. බරපතල අපරාධ නඩු 22ක් ඇති බැවින් ගිනි අවි අධිකරණයට බාර දෙන ලෙස මහාධිකරණ විනිසුරු අමරේට නියෝග කළේය. ඒ ඉකුත් අප්‍රේල් 30 දාය. ගිනි අවි භාරදීමට නියම කළේ මැයි මස 08 වනදාය. අමරේ අධිකරණය පැත්ත පළාතේ ආවේ නැත.
මැදමුලනේ ආශිර්වාදයෙන් අමරේ එදින ජුලම්පිටියේ සිටියේ අදාල T56 ගිනිඅවියද අතැතිවය.
මහඑකා මෙන්ම මල්බේබිද අමරේගේ රැකරවරණයට සිටි. උන්ගෙන් නියෝග ලැබෙන්නේ පොලිසිවලට පමණක් නොවේ. අධිකරණ විනිසුරුන්ට නඩුවට පෙර ඕඩර් ලැබෙන්නේ ඔන්න ඕක ෂේප්කරලා මිනිහා එළියට දානවා හරිද? යනුවෙනි. ඉතිං පොලිසියට හමුදාව මෙන්ම නඩුකාරයෝද අසරණය. දඩ බල්ලා රැහැනින් මුදවා තිබේ. ඌ තවමත් නිදහසේ දඩයමේ යෙදේ. මිනිහා බැඳ දමා ගෑනිට බලහත්කාරකම් කිරීම මේ දිනවල ඔහුගේ ජනප්‍රිය ක්‍රීඩාවයි. පැසවන උතුරන කෝපය සඟවාගෙන ඔවුන්ට ඉතිරිව ඇත්තේ හූල්ලන්නට පමණි. පැමිණිලිකරුවන් කරා පැමිණෙන රහස් පොලිසිය පැමිණිලිකරුවන්ගෙන්ම ප්‍රශ්න කර සාක‍ෂි සටහන් කරගනිති. මැදමුලනින් කාල්ටන් මැදුරෙන් ලැබෙන සැප වාහන වලින් අමරේ දඩයමේය. අමරේ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි? තංගල්ල, වීරකැටිය, වලස්මුල්ල, මිද්දෙණිය, පොලිසිවලින් අප කරන ලද විමසීම් වලදී ඔවුන් පැවසුවේ අනේ අපිට මොකුත් කියන්න බෑ. මාධ්‍ය ප්‍රකාශකගෙන්ම අහන්න, ඔය ගැන කියන්න පුළුවන් මේ කෝට් ගලවලා ගෙදර ගියපු දවසට විශ්ව කීර්ති ශ්‍රී ත්‍රීසිංහලාධීශ්වරගේ ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහස පිළිබඳ කතාන්දර ඔබ අදත් අසනවා ඇත. එහෙත් රෙද්ද පල්ලෙන් බේරෙන තරම දැනගන්නට ජුලම්පිටිය වලස්මුල්ල, මිද්දෙණිය, වීරකැටිය ජනතාව හමුවී බලන්න ඔවුන්ගෙන් අසන්න.

2 comments:

  1. janapathi thumani biyanowanna sikuru nicha nisa obata mewani chodana enu atha.

    ReplyDelete
  2. me lipiya dakkama julampitiye amare ayyata thada wenna athi. sadaranay ක්ෂණික කෝපය නිසා කියලා නඩුවෙන් බේරෙන්න පුළුවන්

    ReplyDelete