Tuesday, May 22, 2012

ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක‍්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන්නා

lankahotnews.org
මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ වෙන කිසිවෙකු විසින් ෆොන්සේකා මහතාව පැහැරගෙන ගිහින් දඩුවම් පැමිණවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා යන්න තහවුරු වන වාර්තාවන්. නමුත් මේ අවස්ථාවේදී අවධාරණය කළ යුතු වන්නේ ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක‍්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන් බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර
දිසානායක මහතා පවසියි. ඔහු මේ බව පැවසූයේ සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් වීම සම්බන්දයෙන් ජවිපෙ ස්ථාවරය ප්‍රකාශ කල මාධ්‍ය හමුවේදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

"ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට සිදුවූයේ භික්ෂූන් වහන්සේලා අනෙකුත් පූජක උතුමන්, දේශපාලන පක්ෂ සහ වෙනත් සිවිල් සංවිධාන මහජනතාව ඇතුලූ සියලූ දෙනා ගෙනගිය පොදු අරගලයේ ප‍්‍රතිඵලයක් වශයෙන්. පසුගිය ජනාධිපතිවරණය අවසන් වීමත් එක්ක රාජපක්ෂ පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සහ ඒකාධිපති මර්දනකාරී ක‍්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කරනු ලැබුණා. විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේදී අනුග‍්‍රහය දැක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, විශ‍්‍රාමලත් හමුදාවේ නිලධාරීන්, සිවිල් මහජනතාව වෙත මෙම මර්දනය මුදාහරිනු ලැබුවා. අභූත චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදීන් 04 දෙනෙක් අයි.ටී.එන් හා ලක්හඬ මාධ්‍ය ආයතනවල විශාල පිරිසක් රැකියාවෙන් නෙරපා හරිනු ලැබුවා. මේ තත්වය යටතේ සමහර මාධ්‍යවේදීන් රට හැරදා ගියා. සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සිදුකරන්නේ මේ වගේ පසුබිමකදි දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පුද්ගලයෙකු හැටියටයි.
මෙම නිදහස් කිරීමෙන් රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒකාධිපති ගමන කිසිසේත්ම අහෝසි වන්නේ නැහැ. සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට සිදුවූයේ ජාතික හා ජාත්‍යන්තර මැදිහත්වීම්, මහජන අරගල සහ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන්. රාජපක්ෂ පාලනයට හතරවටින් එල්ලවී තිබෙන විරෝධතා වෙනත් දිශානතියකට එල්ල කිරීමේ අරමුණක් ආණ්ඩුවට තිබෙන බව පැහැදිලියි. ආණ්ඩුව මේ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දරණ ස්ථාවරය පූර්ණ නිදහසක් ලබාදිය යුතු බවයි. කොන්දේසි කිසිවක් තිබිය නොහැකියි. ෆොන්සේකා මහතාට සිරදඩුවම් පමුණුවන්නේ ජනාධිපතිවරයා විසින්ම පත්කරන ලද ඊනියා යුධ හමුදා අධිකරණයක් මගින්. හැබැයි මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ වෙන කිසිවෙකු විසින් ෆොන්සේකා මහතාව පැහැරගෙන ගිහින් දඩුවම් පැමිණවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා යන්න තහවුරු වන වාර්තාවන්. නමුත් මේ අවස්ථාවේදී අවධාරණය කළ යුතු වන්නේ ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක‍්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන් බවයි.
සමහර වාර්තා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම මත ෆොන්සේකා මහතා නිදහස් කරන බවයි. අප දන්නා තරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිවෙකුට ඇහුම්කන් දෙන්නේ නැහැ. තමන් හිතුමතේ වැඩ කරන කෙනෙක්. ඒ තත්වය යටතේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තරම් බලගතු වූ ඇමතිවරුන් කවුද යන්න රටට ඉදිරිපත් කළ යුතු බව අපගේ මතයයි. ජනාධිපතිවරයා සම්බන්ධ වූ ඊනියා යුධ අධිකරණයට එරෙහිව නීතියට පවා යා නොහැකි තත්වයක් තිබුණා. ඇමතිවරුන්ගේ ඉල්ලීම මත නිදහස් කිරීම යනුවෙන් අදහස් කරන්නේ මේ වගේ ඒකාධිපති කි‍්‍රයාමාර්ගවලට එරෙහිව සමාජයේ සියලූම කොටස් සහ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මැදිහත් වූ නීතිඥයින් ඇතුලූ සියලූදෙනාගේ ඒකාබද්ධ ජයග‍්‍රහණයයි. එසේ නොවී ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ෆොන්සේකා මහතා නිදහස් කරනවානම් ඔහුට විරුද්ධව පවරා තිබෙන ඉතිරි නඩු සියල්ලත් ඉල්ලා අස්කර ගත යුතුයි. චන්දන කත‍්‍රිආරච්චි, අබ්දුල් කාදර් වැනි අයට පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගන්න පුළුවන්නම් හුදෙක් දේශපාලන පලිගැනීම් චේතනාවෙන්ම ෆොන්සේකා මහතාට විරුද්ධව පනවා ඇති නඩු සියල්ල ඉල්ලා අස්කර ගත යුතුයි.
ජනමාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, මාධ්‍ය ආයතනවලට පහරදීම ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම, සුදුවෑන්වලින් පැහැරගෙන යෑම වගේ සමස්ත කි‍්‍රයාදාමයක් රට තුළ කි‍්‍රයාත්මක වනවා. ඒ වගේම 17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයම බල රහිත කරමින් 18 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා ලබාගෙන තිබෙන ඒකාධිපති බලතල එසේම තිබියදී මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිසිසේත්ම තහවුරු කළ නොහැකියි. ෆොන්සේකා මහතා නිදහස් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ අරගලයේ එක ජයග‍්‍රහණයක් පමණයි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියමාකාරයෙන් ජයග‍්‍රහණය කිරීමට තව බොහෝ කි‍්‍රයාකාරකම් කළ යුතුව තිබෙනවා. උතුරේ රැදවුම් කඳවුරුවල සිටින සහ වෙනත් ස්ථානවල රඳවා සිටින සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කර අර්ධ මිලිටරිකරණය අවසන් කළ යුතුයි. ජනමාධ්‍ය නිදහස තහවුරු කර මූලික මිනිස් අයිතිවාසිකම් ලබාදිය යුතුයි. මෙම අයිතීන් දිනාගැනීමේ අරගලය ඉදිරියට පවතින බව අප මේ අවස්ථාවේදී අවධාරණය කරනවා."
 

No comments:

Post a Comment