Thursday, May 24, 2012

භාග නිදහසක් දුන්නත් රැස්වීම් තබා ජනතාව දැනුවත් කිරීම නතර කරන්නේ නෑ

lankahotnews.org
තමාට මැතිවරණයකට තරගකිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් දේශපාලනය කිරීමට හැකියාව ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

බන්ධනාගාරගතව සිටි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව ලැබීමෙන් පසු රොයිටර් පුවත් සේවය හා දුරකථනයෙන් එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.


තමාට මිනිසුන්ව දැනුවත් කිරීමට හැකියාව ඇති බවත්,රැස්වීම් කැඳවා ආමන්ත්‍රණය කළ හැකි බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

එසේම මෙම රජය, බලයෙන් පහ කොට ජනතාව‍ගේ සුබ සිද්ධිය පිණිස කටයුතු කරන රජයක් බලයට පත්කිරීමට කළ හැකි අන්සෑම දෙයක්ම කරන බවද ෆොන්සේකා මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ තිස් හතර වෙනි වගන්තියට අනුව, අධිකරණයෙන්දඬුවම් ලැබූ අයෙකුට පූර්ණ නිදහස ලබා දීමට ජනාධිපති වරයාට බලය ඇති නමුත් මෙම අවස්ථාවේදී ෆොන්සේකා මහතාට එවැනි නිදහසක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව හිටපු අග විනිසුරු සරත් එන්. ද සිල්වා මහතා බී.බී.සී මාධ්‍යයට පවසා සිටියේය.

බී.බී.සී සේවයේ සංදේශයට අදහස් දක්වමින් ,මෙහිදී ජනාධිපති වරයා සුදු කොඩි නඩුවෙන් හිටපු හමුදාපති වරයා නිදහස් කර ඇතත් යුධ අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබූ හයි කෝප් නඩුවෙන් ලැබූ දඬුවමට සමාව දී නොමැති තත්ත්වය තුළ ඔහුගේ ප්‍රජා අයිතීන් ලැබී නොමැති බවද සරත් එන්. ද සිල්වා අවධාරණය කළේය.

ලැබී ඇති නිදහස අනුව සරත් ෆොන්සේකාට දේශපාලන කටයුතු වල යෙදීමට කිසුදු බාධාවක් නොමැති වුවද ඡන්දය දීමේ හෝ මැතිවරණ සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඔහුට අවසරයක් නොමැති බවද සරත් එන්. ද සිල්වා, හිටපු අගවිනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.

හිටපු අගවිනිසුරුවරයා එසේ කියා සිටියද මැතිවරණයකට ඉදිරිපත්වීමේ අයිතිය අහිමි වුවද ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වී නැත.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට හිමිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)ඇ වගන්තියට අනුව කොන්දේසි සහිත සමාවක් බව නීතිපතිනි,ජනාධිපති නීතිඥ ඊවා වනසුන්දර මහත්මිය පවසයි.

එහෙත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර නැති බවත් ඒ නිසාම ඡන්දය ප්‍රකාශ කිරීම,ජනතාව ඇමතීම,රැස්වීම්වලට සහභාගීවීම,ජනමාධ්‍යයට අදහස් පළකිරීම..ආදී සියලුම ප්‍රජා අයිතීන් ඔහුට හිමිවන නමුත් වසර 7 ක් යනතුරු මැතිවරණවලට තරග කිරීමට අවස්ථාව හිමි නොවන බව නීතිපතිනිය පුවත්පතකට පෙන්වා දී ඇත.

No comments:

Post a Comment