Sunday, May 13, 2012

කැනේඩියානු පුරවැසියා උතුරේ දී මරා දැමීම ගැන පරීක්ෂණයක් කැනේඩියාව ඉල්ලයි

lankahotnews.org
පසුගිය සතියේ දී අභිරහස් අන්දමින් මරා දමා තිබූ කැනේඩියානු පුරවැසියකුගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස කැනේඩියානු රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඝාතනය පිළිබඳව ප‍්‍රකාශයක් කර ඇති ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහා කොමසාරිස් බෲස් ලෙවි පවසන්නේ කැනේඩියානු පුරවැසියෙක් වන අන්තෝනිපිල්ලෙයි මහේන්ද්‍රරාජා
සාහසිකයන් පිරිසක් විසින් කිලිනොච්චි අසල ප්‍රදේශයකදී මරා දැමුණු බවට සැක පළ වී තිබෙන බවයි. විධිමත් පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලීමක් ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කළ බවත් පරීක්ෂණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසිලිමත්ව සිටින බවත් මහා කොමසාරිස් වරයා කියා සිටී. හිස් ආවරණය කරගත් පිරිසක් මහේන්ද්‍රරජාට පහර දෙනු තමන් දුටු බව ප්‍රදේශවාසීන් මාධ්‍ය වලට ලබා දුන් තොරතුරු වලින් කියැවුණි. අන්තෝනිපිල්ලෙයි මහේන්ද්‍රරාජා, ප්‍රහාරකයන් සමග පොරබදා ඇති අතර ඔහුගේ ලිංගේන්ද්‍රියට හානි කර ඇති බවත් වාර්තා වේ. කලින් කිලිනොච්චි ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක් මෙන්ම කඩ සාප්පු හිමියෙක් ද වූ මහේන්ද්‍රරාජා යුද සමයේ රටින් බැහැරව කැනඩාවේ පදිංචියට ගොස් සිටියෙකි. යුද්ධය පැවති සමයේල ඔහුගේ දේපල දෙමළ කොටි සංවිධානය මගින් පවරා ගත් බව ප්‍රදේශවාසීහු කියා සිටිති. යුද්ධය නිමවීමෙන් පසු ඔහුගේ වෙළෙඳසැල්ල සුපිරි වෙළඳ සමාගමක් සහ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් අත්පත් කර ගනු ලැබ තිබිනි. ආපසු ශ්‍රී ලංකාවට පැමිණි මහේන්ද්‍රරාජා නව නිවෙසක් තනමින් සිටි අතර ඔහුට අයත් දේපළ යළි ලබාගැනීමට උත්සාහ දරා ඇත. දින කිහිපයකට පෙර ඔහු සහ ආරක්ෂක හමුදා අතර බහින් බස් වීමක් සිදු වූ බව ද සමහර වාර්තා වල සඳහන් වුනි. මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ගවේෂණ කණ්ඩායම් හතරක් යොදා ඇතැයි පොලිස් ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේය.

No comments:

Post a Comment