Thursday, April 26, 2012

කෘෂිකර්මය සඳහා න්‍යෂ්ටික තාක්ෂණය යෙදවුමට ජනපති උපදෙස්

lankahotnews.org
"කෘෂිකර්මය සඳහා න්‍යෂ්ටික තාක්ෂණයේ ඉදිරි ගමන් මඟ" මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ අප්‍රේල් 26 සහ 27 යන දෙදින තුළ පේරාදෙණියේ ජාන සම්පත් කේන්ද්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.


ලෝකයේ බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාව තුළත් න්‍යෂ්ටික තාක්ෂණය
යොදාගෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ව මහජනතාවට පුළුල් දැනුමක් ලබාදීම, මෙහි මුඛ්‍ය පරමාර්ථය බව පරමාණුක ශක්ති අධිකාරිය ප්‍රකාශ කරයි.

ශාක වල පොහොර හා ජලය උරාගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, ජෛවීය නයිට්‍රජන් තිර කිරීමටත්, හොඳ ලක්ෂණ සහිත ශාක ප්‍රභේද අළුතින් ඇතිකිරීමටත්, රෝග ප්‍රතිරෝධී ගෙවතු බෝග ඇතූළු වෙනත් කෘෂිකාර්මික බෝග නිපදවීමටත්, අර්තාපල් වැනි බෝග වල මොටෙයියන් ඇතිවීම වැළැක්වීමට සහ පසු අස්වනු හානිය අවම කරගැනීමටත් විකිරණ තාක්ෂණය යොදාගත හැකිය.


ශාකවලට හානිකරන කෘමීන් වඳකිරීමට හා ඔවුන් පාලනය කිරීමට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගත හැකි අතර ආහාර මගින් ඇතිවිය හැකි රෝග අවම කිරීමටත්, කෘමිනාශක මගින් ඇතිවන දුෂණය අධ්‍යනයටත් මෙම තාක්ෂණය යොදාගත හැකි බව පරමාණුක ශක්ති අධිකාරිය පෙන්වාදෙයි.


මීට අමතර ව පශු සම්පත් ක්ෂේත්‍රයේ දී වඩා හොඳ වූත්, තත්ත්වයෙන් උසස් වූත් සතුන් බෝකිරීමටත්, ඔවුන්ගේ ප්‍රජනන හැකියාවන් වැඩිදියුණු කිරීමට මෙන්ම පෝෂණය සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමටත් න්‍යෂ්ටික තාක්ෂණය භාවිත කෙරේ.


පරමාණුක ශක්ති අධිකාරියත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක් ව, ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සිය සහ ආහාර හා කෘෂිකර්ම ආයතනය ආධාරයෙන් ඉදිරියේ දී ඉහත සඳහන් කාර්යයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට නියමිතය.

No comments:

Post a Comment