Saturday, April 21, 2012

යාපනය නගරයේ අඩක් පිරිසිදු කිරීම පුද්ගලික අංශයට පවරනවා

lankahotnews.org
 යාපනය මහ නගර සභා බල ප‍්‍රදේශය තුළ පිරිසිදු කිරීමේ කටයුතු මෙතෙක් මහ නගර සභාව විසින් කර ගෙන යනු ලැබුව ද එම කාර්යය නිසියාකාර ව සිදු නොකරන බැවින් මේ පිළිබඳ ව අත්හදා බැලීමක් ලෙස ඉදිරියේ දී නාගරික බල ප‍්‍රදේශයේ අඩක් ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට පැවරීමට කටයුතු කරන බව සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සිය කාර්යාලයේ පැවති යාපනය මහ නගර සභාවේ පරිපාලනය පිළිබඳ සාකච්ඡාවේදීය.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා යාපනය නගරයේ ශුද්ධ පවිත‍්‍රතාව පිළිබඳ ව සෑහීමකට පත් විය නොහැකි බව ප‍්‍රකාශ කළේය. මහ නගර සභා පාලන බල ප‍්‍රදේශය තුළ ඇති වෙළෙඳ ආයතනයන්හි හිඟ බදු මුදල් ලබා ගැනීම පිළිබඳ ව වහාම පියවර ගන්නා ලෙසත් අනාගතයේ දී මහ නගර සභාවේ ආදායම වැඩි කර ගැනීමට කටයුතු කරන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.


එසේ ම කෝම්බයන්මනල් සුසාන භූමිය නවීකරණය කිරීම හා ඒ වටා තාප්පයක් ඉදිකිරීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා විය. මෙම තාප්පයේ ඉදි කිරීම් කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුනි.

මේ අවස්ථාවට උතුරු පළාත් ප‍්‍රධාන ලේකම් විජයලක්‍ෂ්මි මහත්මිය, පළාත් පාලන කොමසාරිස් ජෙකූ මහතා, යාපනය නගරාධිපතිනී යෝගේෂ්වරි පත්කුණරාජා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

No comments:

Post a Comment