Monday, December 5, 2011

පක්‍ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඕනෑ කර තිබේ


 lankahotnews.org
නියම ලෙස ස්ථාපිත කර නොමැති කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තුලින්  පක්‍ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි ලෙස බලපෑම් එල්ල
විය හැකි බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා
පවසයි. වැඩි දුරටත් අදහස් දක්වන ඔහු

අප පක්‍ෂයේ ප‍්‍රධාන නිලධාරීන් තෝරා ගැනීම පිළිබඳව නිර්ණායකයන් ගණනාවක් සකස් කොට ඇති බව මාධ්‍ය මගින් මෙන් ම පක්‍ෂයේ නිලධාරීන්ගෙන් විමසීමේ දී ස්ථිර වශයෙන් දැන ගන්නට ලැබුණි. 2010.12.12 දින පක්‍ෂ සම්මේලනයේ දී සම්මත කරන ලද පක්‍ෂයේ නව ව්‍යවස්ථාවේ 8 - 1 වගන්තිය අනුව පක්‍ෂයේ නායකතුමා, පක්‍ෂයේ නියෝජ්‍ය නායකතුමා, පක්‍ෂයේ උප නායකතුමා, පක්‍ෂයේ ජාතික සංවිධායකතුමා, පක්‍ෂයේ සභාපතිතුමා යන ධූරයන් සඳහා තෝරා පත් කර ගැනීමේ දී ඔවුන්ට තිබිය යුතු සුදුසුකම ලෙස දක්වා තිබුණේ ජාතික විධායක සභාවේ සාමාජිකයෙක් වීම පමණි.

ඒ අනුව වෙනත් කිසිදු සුදුසුකමකින් තොරව අප පක්‍ෂයේ නායකතුමා ලෙස ඔබතුමා ද,නියෝජ්‍ය නායකයින් ලෙස කරු ජයසූරිය මැතිතුමා සහ සජිත් පේ‍්‍රමදාස මැතිතුමාව ද, පක්‍ෂයේ සභාපතිතුමා ලෙස ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මැතිතුමා ද, පක්‍ෂයේ මහ ලේකම්තුමා ලෙස තිස්ස අත්තනායක මැතිතුමාව ද තෝරා පත් කර ගනු ලැබුණි. එම තෝරා පත් කර ගන්නා ලද අවස්ථාවේ දී ජනාධිපති නීතිඥ තිලක් මාරපන මැතිතුමා විසින් නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා වූ රීති යටතේ යෝජනා මාලාවක් කරුණු පහකින් යුක්තව ඉදිරිපත් කරන ලද අතර එය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලදී. නැවතත් ලබන වසර සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා කතිකාවතක් ඇති වී තිබෙන මෙම මොහොතේ මෙවැනි නිර්ණායකයන් ගෙන ඒම පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුය.

ඕනෑම පක්‍ෂයක අභිවෘධිය පවතින්නේ එම පක්‍ෂයේ දක්‍ෂ සහ හැකියාවෙන් යුත් අයට පක්‍ෂය තුළ ඉදිරියට යාමේ අවස්ථාවක් ඇත්නම් පමණි. අද අපේ පක්‍ෂයට ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා වන දැවැන්ත අභියෝගයක් අප හමුවේ පවතී. එකී බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නම් පක්‍ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතා ඉහළ මට්ටමකින් තබා ගත යුතුය. මේ වන විටත් මේ වසර සඳහා තවමත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පූර්ණ වශයෙන් පත් කර නොමැත. ගරු ඔබතුමා විසින් සාමාජිකයින් හතර දෙනෙකු පත් කිරීමට ඉතිරිව තිබෙන අතර වෘත්තීය සමිති ක්‍ෂෙත‍්‍රයෙන් කිසිවෙකු මේ වන විට පත් කර නොමැත. අනුබද්ධ සංවිධානවලින් ද කිසිවෙකු පත් කර නොමැත.පළාත් පාලන ආයතනවලින් පළාත් පාලන ආයතන සංසදය ස්ථාපිත කොට එයින් තෝරාගත් එක පළාත් පාලන නියෝජිතයෙකු බැගින් පළාත් නවයට නියෝජිතයින් නව දෙනෙකු පත් කළ යුතුව තිබුණ ද ඔවුන් පත් කර නොමැත.

එබැවින් නියම ලෙස ස්ථාපිත කර නොමැති කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තුළින් පක්‍ෂයේ නායකයින් තෝරා ගැනීම පක්‍ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි ලෙස බලපෑම් එල්ල කළ හැක්කකි. එසේම වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයෙන් ඇතුළත් වන නියෝජිතයා පිළිබඳව සියලූම වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට හෝ ඡන්දයෙන් පත් කිරීමෙන් හෝ කිසිවකු මේ වනවිට තෝරා ගෙන නොමැත. 2005 න් පසු මේ වන තුරු පක්‍ෂයේ ශාඛා සමිති, තරුණ සමිති,කාන්තා සමිති ප‍්‍රතිසංවිධානය කොට නොමැත. එසේම 2011 වසර සඳහා විධායක සභාව ද තවම ස්ථාපිත කොට නොමැත. එබැවින් මෙම අඩුපාඩු සහිතව අසම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තුළින් නායකයන් පත් කර ගැනීම වෙනුවට එම නායකත්වයන් තෝරා ගැනීම පිළිබඳ ව නිර්ණායකයන් ඉදිරිපත් කිරීමට පෙර පළමුව කෘත්‍යාධිකාරී මණ්ඩලය නිසි ලෙස ස්ථාපිත කළ යුතු බවට ඔබතුමාට ගෞරවයෙන් සිහිපත් කරමි.මෙලෙස නිලධාරීන් පත් කර ගැනීම සඳහා නිර්ණායකයන් සකස් කරන්නේ නම් ඉතිහාසයේ අප පක්‍ෂයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට පක්‍ෂයේ නායකත්වයට ඒමට හැකියාව නොලැබෙනු ඇත. ගාමිණි දිසානායක මැතිතුමාට ද කිසිදාක පක්‍ෂ නායකත්වයට පත්වීමට හැකියාව ලැබෙන්නේ නැත. ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා වැනි නායකයෙකුට අනාගතයේ දී ගෞරවනීය ලෙස එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කරන්නේ නම් මෙවැනි තනතුරක් දැරීමට එතුමාට ද හැකියාවක් ලැබෙන්නේ නැත.

රාජපක්‍ෂ ආණ්ඩුවෙන් වෙන් වී අපත් සමග එක්වීමට ප‍්‍රබල නායකයින් ඇතුළු විශාල පිරිසක් අපත් සමග එකතු වන්නට අනාගතයේ දී සැලසුම් කරන්නේ නම් එවැනි නායකයෙකුට ද මෙවැනි තනතුරක් දැරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙවැනි නිර්ණායකයන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේ දී අනුගමනය නොකළේ මන්දැයි යන ගැටලුව මේ අවස්ථාවේදී පැන නඟී. ඊට හේතුව වන්නේ පක්‍ෂයේ නිවැරදි ගමන් මග සහ පක්‍ෂය නිවැරදි තීන්දු ගන්නා එකම ස්ථානය වන කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමේ දී ද එවැනි අත්දැකීම් දේශපාලන සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳ ව සොයා බැලීම ද පක්‍ෂයටත් රටටත් වැදගත් වන හෙයිනි. එබැවින් අපේ පක්‍ෂයේ ජයග‍්‍රහණය සඳහා වන නිවැරදි තීන්දු තීරණ ගැනීම පසෙකලා පක්‍ෂයට නිලධාරීන් පත් කිරීමේ දී මෙවැනි නිර්ණායකයන් පළමු ක‍්‍රියාමාර්ගය සේ සලකා කටයුතු කිරීම තුළින් සිදු වන්නේ තව දුරටත් ප‍්‍රශ්නය සංකීර්ණවීම පමණි.

පසුගිය කාලවකවානුව තුළ පක්‍ෂයේ මෙම අර්බුද තුළින් විශාල පිරිසක් පක්‍ෂය හැරගියා පමණක් නොව ඡන්ද දායකයින් පක්‍ෂයට ඡන්දය දීමට පවා ඡන්ද මධ්‍යස්ථානයට නොපැමිණෙන තැනකට කලකිරී තිබුණි. තවදුරටත් පක්‍ෂ අභ්‍යන්තරය තුළ ගැටුම් ඇති වෙමින්, හැලහැප්පීම් ඇති වෙමින් නායකත්වයන් ආරක්‍ෂා කිරීමට කාකොටා ගන්නවා ද නැතිනම් එක හඬින් එක්ව මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙනවා ද යන්න අප විසින් හැකි ඉක්මනින් තීරණය කළ යුතු කාරණයකි. තව දුරටත් සතුරන් කිහිප දෙනෙකු සමග සටන් කරනවා වෙනුවට එක් සතුරෙකු තෝරා ගැනීම වැදගත් වේ යැයි මම සිතමි. මෙම ගැටුම් වල අවසානය වන්නේ තවදුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා චිරාත් කාලයක් බලයේ රැඳී සිටීමට අවස්ථාව උදාවීමකි. එබැවින් පක්‍ෂය ඇතුළත රණ්ඩුවෙමින් කාකොටා ගනිමින් අපේ වටිනා කාලයත් ජනතාවගේ කාලයත් කා දැමීමට අප තව දුරටත් සූදානම් වනවා ද නොමැති නම් එක්සත් ව පොදු අරමුණක් වටා එක්වනවා ද යන්න තීරණය කිරීමට කාලය එළඹ තිබේ.

එබැවින් කඩිනමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය ස්ථාපිත කර, අභ්‍යන්තර අර්බුද හැකි ඉක්මනින් අවසන් කර ආණ්ඩුවට එරෙහිව එකාවන් ව පෙළ ගැසීමට කටයුතු කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලන අතර පක්‍ෂයේ ඉදිරියට එන්නට ඉඩකඩ තිබෙන නායකයින්ට ඉඩ අහුරන පක්‍ෂයේ ජයග‍්‍රහණය වළකන මෙම නිර්ණායකයන් පිළිබඳ නැවත අවධානය යොමුකරන මෙන් ද ගෞරවයෙන් ඉල්ලමි.

No comments:

Post a Comment