Wednesday, December 14, 2011

එළවළු වෙළදුන් සහ ගොවීන් රට පුරා උද්ඝෝෂණයේ, එළවළු මිල 60%කින් ඉහළට


lankahotnews.org
එළවළු හා පළතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් ඇසුරුම් අනිවාර්ය කිරීමට එරෙහිව අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්විය.
දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළදුන් සහ ගොවීන්
දෙවන දිනටත් අද පෙරවරුවේ විරෝධතාව ආරම්භ කළේ දඹුල්ල නගර මධ්‍යයේදීය. විරෝධතාව පස්වරුව වනවිට ඉතා නොසන්සුන් මුහුණුවරක් ගනු ලැබිණි. ඒ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනි. පසුව විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළේය. මෙහිදී පොලිසියට ද ‍විරෝධතාකරුවන් ගල්මුල්වලින් පහරදුන් අතර පොදු දේපලවලට ද හානි සිදුවිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ  පැවසුවේ කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවටගත් බවය.

බණ්ඩාරවෙල නගර මධ්‍යයේදී ද අද දවස පුරා ගොවීන් හා එළවළු වෙළඳුන් විරෝධතාවයේ නිරත විය. කලහකාරී ලෙස හැසුරුණු පිරිස් පාලනය කිරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවන් ද පොලිසියට ගල්මුල් වලින් ප්‍රහාර එල්ල කළේය.

ඊට අමතරව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේද අද දෙවන දිනටත් ගොවීන් විරෝධතාවයේ නිරත විය. එළවළු ප්‍රවාහනයට යොදා ගන්නා ප්ලාස්ටික් කූඩ ගිනි තබමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුහ.

එළවළු ප්‍රවාහනයේදී කුඩ භාවිතය අනිවාර්යය කිරීමට විරෝධය පළකරමින් පිටකොටුව මැනිං වෙළෙඳ පොලේ වෙළෙඳුන් ද අද විරෝධතාවක නිරත විය. ඒ හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පැවති අතර පැය කිහිපයකට පසුව විරෝධතාව අතහැර දමනු ලැබුවේ වෙළෙඳ ඇමතිවරයා සමග සාකච්ඡාවකට එළැඹිමේ අරමුණිනි.

මේ අතර එළළු ප්‍රවාහන නව නීතිවලට එරෙහිව පුත්තලම, නොරොච්චෝලේ , මූන්දලම, රන්න, අගුණකොළපැලැස්ස , ආදී ප්‍රදේශවලද විරෝධතා සංවිධානය කර තිබුණි.

ඒ අනුව අද දිනයේ එහි එළවළු මිල 60%කින් ඉහළ ගොස් ඇති අතර අද දින ග්‍රාමීය පොළ බොහොමයක් එළවළු නොමැතිව වසා දමන ලදි




No comments:

Post a Comment