Wednesday, August 22, 2012

උසස් පෙළ වැනි තීරණාත්මක කඩඉම් විභාගයක මෙතරම් පිස්සු කෙලින්නේ ඇයි

උසස් පෙළ වැනි තීරණාත්මක කඩඉම් විභාගයක මෙතරම් පිස්සු කෙලින්නේ ඇයි
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගි ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් අප මෙම ගරු සභාවේ අවධානය විටින් විට යොමු කළා. එහෙත් ඒ කිසිදු ගැටලූවකට තවම නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත්වී තිබෙන යැයි ජවිපෙ පා.ම. අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා උසස් අධ්‍යාපන ඇමති තුමාගෙන් ප්‍රශණ 4ක් ද අසා සිටියේය. අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් ස්ථාවර නියෝග 23/2 යටතේ යොමු කළ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබාදීම අමාත්‍යවරයා විසින් හෙටට කල් තැබුවා.
2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්වයන් කිහිපයක් පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරවමි.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගි ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් අප මෙම ගරු සභාවේ අවධානය විටින් විට යොමු කළා. එහෙත් ඒ කිසිදු ගැටලූවකට තවම නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත්වී තිඛෙනවා. 2011 අගෝස්තුවේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවුල පවා තවම නිරාකරණය වී නැහැ. එසේ තිබියදී 2012 උසස් පෙළ විභාගයත් අර්බුදයට යමින් තිබෙන බව දැන් පෙනී යනවා. අගෝස්තු 06 දා විභාගය ආරම්භ වූ දා සිටම පැරණි හා නව විෂය නිර්දේශයන්හි ප්‍රශ්නපත්‍රවල පහත දෝෂ වාර්තා වුණා.
01). 2012.08.06 දින පැවති සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ 15 (ඒ) ප්‍රශ්නයේ අනුකලනය සඳහා දී තිබූ පිලිතුර වැරදි එකක්. එය සාධනය කළ නොහැකියි.
මේ සඳහා සිසුන්ට අමතර ලකුණු 1.5 ක් ලබාදී ගැටලූව නිරාකරණය කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහෙත් එයද ගැටලූ සහගතයි. මෙම ප්‍රශ්නය තෝරාගෙන පිළිතුරු ලිවීමට අදාල කොටසේ තිබූ ප්‍රශ්නයක්. ඒ අනුව  එම ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් විභාගය ආරම්භයේදීම ලකුණු 1.5ක් පිටුපසින් සිටිනවා. එය ඔවුන්ගේ ඉසෙඩ් අගයට සෘජුවම බලපානවා. ප්‍රශ්නය තෝරාගත් සිසුන් විවිධ ක්‍රම ඔස්සේ පිළිතුර සාධනය කරන්නට යාමෙන් ඔවුන්ගේ කාලය අපතේ යනවා. එසේම දැඩි මානසික ව්‍යාකූලත්වයකට ඇද වැටෙනවා.
02). 2012.08.13 දින භෞතික විද්‍යාව නව නිර්දේශයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය සමග ඊට පෙර දිනයේ කරන ලද සංශෝධන 02ක් එවා තිඛෙනවා. පැරණි විෂය නිර්දේශය සඳහාද සංශෝධන දෙකක් එවා තිඛෙනවා.
එම සංශෝධන ඇතැම් ශාලාධිපතිවරුන්ගේ අවධානයට ලක්වී නැහැ. ඒ නිසා ඇතැම් මධ්‍යස්ථාවල එම සංශෝධන සිසුන්ට ලබා දී නැහැ. උදාහරණයක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන්ට එම සංශෝධන ලැබී නැහැ. අදාල සංශෝධන සිසුන්ට ලබා නොදුන් ශාලාධිපතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි විභාග රාජකාරිවලින් ඉවත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහෙත් එමගින් එම මධ්‍යස්ථානවල විභාගය ලියූ සිසුන්ට සාධාරණයක් ඉටුවන්නේ නැහැ.
03). කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රයට සිදුකරන ලද හදිසි සංශෝධන ඇතැම් විභාග මධ්‍යස්ථානවලට ලැබී ඇත්තේ සැලකිය යුතු ප්‍රමාදයක් සහිතවයි.
නිදසුනක් ලෙස කැළණිය කලාපයේ විභාග මධ්‍යස්ථානවලට මෙම සංශෝධන ලැබී ඇත්තේ, විභාගය නිමා විමට විනාඩි 15කට කලින්. එය සිසුන්ට පිළිතුරු සැපයීම සඳහා සූදානම්වීමට කිසිසේත් ප්‍රමාණවත් කාලයක් නොවේ.
04). 2012.08.14 දින තර්ක ශාස්ත්‍රය පළමු ප්‍රශ්න පත්‍රයේ 19 වෙනි ප්‍රශ්නයටද සංශෝධන ඉදිරිපත් කර තිබුණා.
05). රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාලව ආවර්තිතා වගුව ලබාදෙන බව එහි සඳහන්ව තිබුණත් එවැනි ආර්තිතා වගුවක් ලබාදී නැහැ.
06). සිංහල විෂය සඳහා පැරණි විෂය නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ පැවැති දෝෂ හේතුවෙන් ගැටළුවලට මුහුණපෑමට සිදුවුණා. මෙහි 1 (ආ) ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත්තේ තද කළු අකුරින් මුද්‍රණය කර ඇති කොටස් ලිහිල් බසින් ලියන ලෙසයි. නමුත් අදාල ප්‍රශ්නයේ 4, 5 යන කොටස්වල කිසිදු වචනයක් තද කළු අකුරින් මුද්‍රණය කොට තිබී නැහැ.
07). ජීවවිද්‍යාව නව නිර්දේශය ප්‍රශ්න පත්‍රයේ දී කට පාඩමින් සිසුන් මතක තබාගැනීමට අවශ්‍ය නොවන බව විෂය නිර්දේශයේ දක්වා ඇති විද්‍යාත්මක නාමයන් අසා තිබුණා.
13 වසරක පාසල් අධ්‍යාපනයේ තීරණාත්මක අවසාන කඩඉම උසස් පෙළ විභාගයයි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුලත්වීමට, විදේශගතවී උපාධි ලබාගැනීමට, විද්‍යාපීඨ හෝ වෙනත් වෘත්තීය පුහුණු ආයතනවලට ඇතුලත් වීමට, රැකියාවක් ලබාගැනීමට ආදී ජීවිතයේ ඉදිරි මාවත විවර කරන දොරටුව උසස් පෙළ විභාගය බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා උසස් පෙළ ඉහළින්ම සමත්වීමට දරුවන් ගන්නා වෙහෙස අපමණයි. අපේ රටේ දරුවන් වගේම ඔවුන්ගේ දෙමාපියන්,ගුරුවරුන් ආදී සියලූ දෙනා දරුවන් වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් සිදුකරනවා. ඒ නිසා උසස් පෙළ විභාගය හා ඉහළ ප්‍රතිඵල යනු මේ සියලූ දෙනාගේ බලාපොරොත්තුවයි. සිහිනයයි.
නමුත් මේ වනවිට ආණ්ඩුව එම සිහින සුණුවිසිනු කර දමමින් තිඛෙනවා. ඒ 03ක් ගත් දරුවාටත් විශ්වවිද්‍යාල වරම් අහිමි වන විට විභාග ගැන විශ්වාසයක් තබන්නේ කොහොමද? ඒ 03ක් ගත් දරුවනුත් පාරට ඇද දැමීම නම් ආසියාවේ ආශ්චර්යයක්ම තමයි. ක‍ෂිතිජයෙන් එහා දකින දරුවෙක් හදනවා කිව්ව උසස් අධ්‍යාපන ඇමතිවරයා දරුවන්ට එලොව පොල් පෙනෙන්න සලස්වා තිඛෙනවා.
මෙවර උසස් පෙළ විභාගයේ රහස්‍යභාවය හා විශ්වාසය බින්දුවටම වට්ටවා තිඛෙනවා. ප්‍රශ්න පත්‍රවල සංශෝධන එවා තිඛෙන්නේ ෆැක්ස් මගින්. ෆැක්ස් පහසුකම් තිඛෙන පාසල්වලට පමණක් සංශෝධන ලැබී තිඛෙනවා. ෆැක්ස් පත ලැබුණේ නැත්නම් වැරදි ප්‍රශ්නයට උත්තරය ලියන්න ඒ දරුවන්ට සිදුවුණා. සමහර ප්‍රශ්නවල සංශෝධන ෆැක්ස් පත ලැබී ඇත්තේ පිළිතුරු පත්‍ර එකතු කිරීමට ආසන්න මොහොතේදී. මේ දරුවන්ට සිදුවූ අසාධාරණයේ වගකීම භාරගන්නේ කවුද?
විභාග ප්‍රශ්නවල පැවැති මෙම බරපතල අඩුපාඩු සම්බන්ධව විභාග කොමාසාරිස් කියා තිබුණේ එය සාමාන්‍ය දෙයක් බැවින් කලබල විය යුතු නැති බවයි. කැබිනට් ප්‍රකාශක ආමාත්‍යවරයාද ඒක සුළු දෙයක් බව ප්‍රකාශ කර තිබුණා. අමාත්‍යවරුන්ට හෝ නිලධාරීන්ට මේ කරුණු සුළු දෙයක් වුණාට, මෙය දරුවන්ගේ අනාගතය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ මගින් ඉසෙඩ් අගයේ සිදුවන සුළු වෙනසකින් වෛද්‍ය පීඨයට යෑමට සිටි දරුවා ජීවවිද්‍යා පාඨමාලාවකට ඇද වැටිය හැකියි. කලා පීඨයට යාමට සිටි දරුවාට විශ්වවිද්‍යාල වරම් අහිමි විය හැකියි. කොටින්ම දරුවෙකු විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී අධ්‍යාපනය ලබන්නේද නැතහොත් උසස්පෙළ සමතකු පමණක් වන්නේද යන්න පවා තීරණය විය හැකියි.
උසස් පෙළ ප්‍රතිඵල ගණනය සඳහා ඉසෙඩ් අගය හඳුන්වා දුන් මහාචාර්ය ආර්.ඕ. තටිල් මහතා දැනටමත් පෙන්වා දී ඇත්තේ, වැරදුණු ප්‍රශ්න වෙනුවෙන් ප්‍රසාද ලකුණු දීමෙන් ඉසෙඩ් අගයේ වෙනස්කම් සිදුවිය හැකි බවයි. වැරදි ප්‍රශ්නයකට පිලිතුරු සැපයීමට උත්සාහ කළ සිසුවාට මෙන්ම එම ප්‍රශAනය තෝරා නොගත් සිසුවාටත් වැරදී තිබූ ප්‍රශ්නය වෙනුවෙන් අමතර ලකුණු ලබාදීමෙන් මෙම වැරැද්ද නිවැරදි කළ නොහැකි බව ඔහු කියනවා. මේ අවස්ථා දෙකේදීම සිසුන් ලබාගන්නා ලකුණුවල වෙනස්කම් ඉසෙඩ් අගයට බලපාන බව ඔහුගේ අදහසයි. එසේම ප්‍රශ්න පත්‍ර සංශෝධන ලබා දුන් හා එසේ නොකළ විභාග මධ්‍යස්ථානවල සිසුන් ලබාගන්නා ලකුණුවල වෙනස්කම් තිබිය හැකි බව ඔහු පවසනවා. කරුණු එසේනම් 2012 උසස්පෙළ විභාගයේ ඉසෙඩ් අගයේ ගැටලූ දැනටමත් ඇරඹී අවසන්.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූ පිළිබඳව අදාල අමාත්‍යවරයා මෙම ගරු සභාව දැනුවත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.
01. උසස් පෙළ වැනි තීරණාත්මක කඩඉම් විභාගයක මෙතරම් වැරදි හා අඩුපාඩුකම් සිදුවීමට හේතුව කුමක්ද?
02. මෙම අඩුපාඩුකම් හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුනට ලබාදිය හැකි සහනය කවරේද?
03. එම සහනවලින් අසාධාරණය පියවුණු බවට දිය හැකි සහතිකය කුමක්ද?
04. නිවැරදි ඉසෙඩ් අගයන් ලබා ගැනීම සඳහා මෙවර අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක්‍රමවේදය කුමක්ද?

No comments:

Post a Comment