Tuesday, March 6, 2012

මහපොළ වාරිකය රු5000 දක්වා ඉහළ දමන ලෙස ජවිපෙ ශිෂ්‍ය සංගමය කියයි


lankahotnews.org
ඉහළ යන තෙල් මිල ද ඇතුලූ ජීවන වියදම පදනම් කරගනිමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.5000 දක්වා වැඩි කරන ලෙසටත්, ශිෂ්‍යත්ව ලාභීන් ප‍්‍රමාණය වැඩි කරන ලෙසටත් ආණ්ඩුවට බලකර සිටින බව සදහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් එවනලදී. එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වන්නේ


 "පෙබරවාරි 10 දා සිට ඉහළ දමන ලද ඉන්දන මිළත් සමගින් සියලූ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ද ඉහළ ගොස් ඇත. ගෑස් ඇතුලූ තවත් භාණ්ඩ ගණනාවක මිල නුදුරේදීම ඉහළ යාමට නියමිතය. ඉන්දන මිල මත පදනම්ව විදුලි බිලද, බස් ගාස්තුද වැඩිවීම නිසා බඩුමිල තවදුරටත් ඉහළ යනු ඇත. මේ තත්වය හමුවේ දැනටත් ඉතා දුෂ්කර ලෙස අධ්‍යාපනයේ නිරතවන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කබලෙන් ලිපට වැටීම පුදුමයක් නොවේ. කෑම පැකැට්ටුවේද, බස් ටිකට්ටුවේද, කඩදාසි ඇතුලූ ලිපි ද්‍රව්‍යවලද නවාතැන් ගාස්තුවලද මිල ඉහළ යාම විසින් අධ්‍යයන කටයුතු තබා ජීවත්වීමද අසීරු කර ඇත. මානසික නිදහස් බව පවත්වා ගනිමින් නිදහසේ අධ්‍යයන කටයුතු කිරීමට බාධාවක් වී ඇත.

මේ නිසා මහපොළ, ශිෂ්‍යාධාර වාරිකය වැඩිකිරීම අතිශය සාධාරණ ඉල්ලීමකි. මාසයකට රු.5000 බැගින් එක් ශිෂ්‍යයෙකුට ලබාදුන්නද වසර 3 ක උපාධි පාඨමාලවක් තුළ දී රජය විසින් ලබාදිය යුතු වන්නේ රු 1,50,000 ක් පමණි. විශ්වවිද්‍යාලය තුළ දැනට ඉගෙනුම ලබන 20,000 ක් පමණ වන සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රු.5000 බැගින් මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය ලබාදුන්නද රජයට වැය වන්නේ මෙවර දැයට කිරුළට ආණ්ඩුව නිකරුණේ නාස්ති කළ මුදලින් 7% ක් පමණි. දේශපාලන බලව්‍යාපෘතියක් වූ දැයට කිරුළ සැණකෙළිය වෙනුවෙන් රු කෝටි 2100 ක් වැය කරන ආණ්ඩුව එයින් සොච්චමක් රටේ අනාගත පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට සූදානමක් නැත.

ඉහළ යන තෙල් මිල ද ඇතුලූ ජීවන වියදම පදනම් කරගනිමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.5000 දක්වා වැඩි කරන ලෙසත්, ශිෂ්‍යත්ව ලාභීන් ප‍්‍රමාණය වැඩි කරන ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු. මේ අතිශය සාධාරණ හා මානුෂික ඉල්ලීම පිළිබ`දව රාජපක්‍ෂ ආණ්ඩුව නෑසූ කන්ව සිටින්නේ නම් ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙමින් පුළුල් අරගලයකට යෑමට අප සූදානම් බවද ප‍්‍රකාශ කර සිටිමු." යනුවෙනි.

No comments:

Post a Comment