Saturday, November 5, 2011

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය බලහත්කාරයෙන් අත්පත් කරගෙන

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට එහි සේවකයන් සහ ගොවීන් පිරිසක් ඊයේ (03) සිට විරෝධතාවයක නිරත වූවා. ඒ, එම කර්මාන්ත ශාලාවට ඇතුළුවන දොරටු අවහිර කරමින්.  මෙලෙස විරෝධතාවයට එක්ව සිටින පිරිස් කියා සිටියේ කර්මාන්ත ශාලාවේ සම්පත් පාලනාධිකාරිය විසින් හදිස්සියේ රැගෙන යාමට විරුද්ධව මෙම විරෝධතාවය දියත් කරන බවයි. නමුත් අද දින තත්වය සේවකයින් කර්මාන්ත ශාලාව අත්පත් කරගැනීම දක්වා වර්ධනය වී ඇත. රජය නිහඩය, කරවටක් ආර්ථික අර්බුදයේ ගිලුණු ආර්ථිකයත් රටතුල මතුවුන ආර්ථික අර්බුදයත් ගිල ගැනීමට නොහැකි වූ ආණ්ඩුව මෙවැනි කුපිතවීම් බලාපොරොත්තුව සිටීදැයි හැගේ.

යෝජිත කාර්යයසාධන අඩු හෝ පරිහරණයට නොගන්නා වත්කම් රජයට පවරාගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා සහය දක්වන කිසියම් පිරිසක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව අද දින නීතිවිරෝධී ලෙස අත්පත්කරගෙන ඇති බව එම කර්මාන්ත ශාලාව අයත් දයා සමූහ ව්‍යාපාරය පවසයි. කිසිදු නීතිමය පසුබිමකින් තොරව සිදුකර ඇති මෙම ක්‍රියා කලාපය සම්බන්ධව රජයේ කිසිදු වගකිවයුත්තෙකු සිය අවධානය යොමුකොට නොමැති බව එම ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ මහතා සඳහන් කරයි. මෙම පිරිසගේ ක්‍රියා කලාපය නිසා සෙවනගල කර්මාන්ත ශාලාවේ සේවකයින් රැසක් පහරකෑමට ලක්ව තුවාල ලබා ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා පෙන්වාදෙයි. රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතුව ඇති බවත්, මෙවැනි ක්‍රියා මුළු ව්‍යාපාර ප්‍රජාවටම අහිතකරව බලපානු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මේ වනවිට සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය බලහත්කාරයෙන් එළියට ඇද දමා ඇති බව වාර්තා වී ඇති බව ද දයා ගමගේ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

No comments:

Post a Comment