Monday, February 4, 2013

65 වන නිදහස් සමරුම මහ ඉහලින් ත්‍රීකුණාමලයේදී, ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂත් සම්බන්ධ‍වේ.

65 වන ජාතික නිදහස් දින උළෙල ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව මාවත පරිශ්‍රයේ දී අද (04) උදෑසන 09.22ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරු ව අභිමානවත් අයුරින් ආරම්භ විණි.

මෙවර ජාතික දින උළෙලේ තේමාව වන්නේ  'අසිරිමත් මව්බිමක් - ඉසුරුමත් හෙට දිනක්' යන්නයි.

උත්සව පරිශ්‍රයට පොලිස්පතිවරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ
සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාගේ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ පැමිණීමෙන් පසු ව නැඟෙනහිර පළාතේ මහඇමති, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පැමිණි අතර අමුත්තන් පිළිගැනීම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ලදී.

අනතුරු ව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සහ අග්‍රවිනිශ්චයකාරවරයා උත්සව පරිශ්‍රයට පැමිණියහ.

ඉන්පසු කතානායක චමල් රාජපක්ෂ මහතා පැමිණි අතර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහත්වරු එතුමා පිළිගන්නා ලදී.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා පැමිණි අතර නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, නැගෙනහිර පළාත් මහඇමතිවරයා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහත්වරු එතුමා පිළිගන්නා ලදී.

අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපති ආර්යාවගේ සම්ප්‍රාප්තිය සිදු විණි.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහත්වරු ජනාධිපතිතුමා සහ ආර්යාව පිළිගනු ලැබූහ.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟ උත්සවය නිල වශයෙන් ආරම්භ කෙරිණි.

අද ආචාර පෙළපාළිය සඳහා යුද හමුදා නිලධාරීන් 3000ක්, නාවික හමුදා නිලධාරීන් 250ක්, පොලිස් නිලධාරීන් 250ක්, ගුවන් හමුදා නිලධාරීන් 250ක්, සිවිල් ආරක්ෂක අංශයෙන් 250ක්, යොවුන් සේනාංකයෙන් 350ක් හා ජාතික ශිෂ්‍යභටයින් 325කට ආසන්න පිරිසක් සහභාගි වන අතර සංස්කෘතිකාංග රැසකින් ද එය සමන්විත වේ.

මෙම උළෙලට මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් විදේශීය තානාපතිවරුන් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ පොදු මහජනතාව  එක් ව සිටිති.


ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය
ජාතියේ ස්වෛරීභාවය වෙනුවෙන් අප‍්‍රමාණ කැපකිරීම් කළ ශ‍්‍රී ලංකා වාසී අප සැම 65 වන ජාතික නිදහස් දිනය සමරන්නේ මහත් අභිමානයෙන් යුතුව ය.

නිදහස සැබෑ ලෙසම අර්ථවත් කළ හැකි සංවර්ධන මඟකට ජාතිය අවතීර්ණව සිටියි. එය ඉතා දුෂ්කර වූත් අභියෝගාත්මක වූත් එකකි. එභෙත් ඉන් සැමට සාධාරණයත්, ජාතියට සමෘද්ධියත් ළඟා කෙරෙයි. ඔබටත් ඔබේ දරුවන්ටත් අනාගතය පිළිබඳ බියෙන් සැකෙන් තොරව සිතීමේ අවස්ථාව අද උදා වී තිබේ.

රටට එරෙහිව එන නොයෙක් දේශීය විදේශීය බලවේග පරාජය කිරීමට අප ස්ථිර ප‍්‍රතිපත්තියක සිට කටයුතු කර ඇත. නායකත්වයට අභියෝගාත්මක දුෂ්කර තත්ත්වයන් පැමිණිය ද මාතෘ භූමිය පාවා නොදී කටයුතු කිරීම අපගේ ප‍්‍රතිපත්තිය යි.  ලාංකේය ජනතාව ලබා දෙන දැවැන්ත සහය එම ප‍්‍රතිපත්තියේ රැඳී සිටීමට අප ලැබූ මහත් ශක්තියකි.

ජාතීන් අතර පවතින සමගිය හා ආගමික සංහිඳියාව දේශයේ දියුණුව ඇති කිරීමේ ලා මහත් පිටුබලයකි. අප බෙදී වෙන් වූ කල්හි නොයෙක් සතුරු බලවේග ශක්තිමත් වී නිදහස අහිමි කරයි. සියලු ජාතීන් සමගිව නැගී සිටිනවිට රටට එරෙහි බලවේග පරාජය වී නිදහස තව තවත් ශක්තිමත් වෙයි. 65 වන ජාතික නිදහස් දිනය අප සමරන්නේ ජාතික සමගිය පිළිබඳ තිර අධිෂ්ඨානය හා කැපවීම  ඇතිව ය.

ජාතික නිදහස ද  දේශයේ ස්වෛරීභාවය ද  රැක දීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දෑ හිතකාමී සැමට අපගේ ගෞරවය පුද කරන්නෙමු.

මහින්ද රාජපක්ෂ

No comments:

Post a Comment