Saturday, November 26, 2011

වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම්


lankahotnews.org
මෙවර අයවැය රාජ්‍ය සේවකයින්ට 10%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ප‍්‍රකාශ කළ නමුත් මේවන විට එය වැටුපට එල්ලන තවත් සොච්චම් දීමනාවක් බව පැහැදිලි වී තිබෙන බවත් ජාතික වෘත්තීය සමිතිය කියා සිටී. එම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාට ලිපියක් මගින් කියා සිටින්නේ දැනට ගෙවනු ලබන සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසය.කේ.ඞී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.


ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස අප රාජ්‍ය අංශයට රු. 10000/= ක වැටුප් වැඩිවීමක් හා පෞද්ගලික අංශයට 40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියේ 2006 වසරේ සිට මේ දක්වා වැටුප් වැඩිකිරීමක් සිදුනොකර සොච්චම් දීමනා කිහිපයක් ලබාදීමට කටයුතු කළ හෙයින් 2006 සිට මේ දක්වා වැඩිවී ඇති ජීවන වියදම පියවා ගැනීම සඳහාය. ඔබතුමා බලය ගැනීමට පෙර මෙන්ම බලයට පත්වූ පසුත් අප මධ්‍යස්ථානය මගින් අවස්ථා ගණනාවකදීම වැටුප් අරගල දියත් කළ අතර අයවැය කිහිපයක් මගින් ලබාදුන් සොච්චම් දීමනා ලබාදීමට එම අරගල බලපෑමක් කල බවත් අවිවාදිතය. 2006 අයවැයෙන් රාජ්‍ය සේවයේ අවම වැටුප් රු. 11730/= දක්වා ඉහල දැමීමටත් ඒ සමග රු. 1000/=ක දීමනාවක් ලබාදීමද සිදු කළේ එවකට මතුව තිබූ වැටුප් අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස බැව් අපි ප‍්‍රකාශ කරමු. එම අවස්ථාවෙම වැඩිවන ජීවන අංකයට රු. 2.50 ක දීමනාවක් ගෙවීමටද ඔබතුමා එකඟ වූවත් එම පොරොන්දුව ඔබතුමා විසින් කඩකරන ලද බවත් පසුව අපගේ බලකිරීම මත මාස 6 කට වරක් රු. 375/= ක දීමනාවක් ලබාදුන් බවත් එයද වරින්වර නතර කලවිට ඒ වෙනුවෙන් අරගල කිරීමට පවා අපට සිදුවූ බවත් මෙහිදී මතක් කර දිය යුතුය.

ඒ අනුව රු. 375/= ක දීමනා 4 ක් දිනාගැනීමට අප සමත්වූ අතර එමගින් රු. 1500/= ක දීමනාවක් වැටුපට එල්ලන ලදී. පසුව 2008 ජූලි 10 වන දින අප මධ්‍යස්ථානය මගින් දියත් කළ එක්දින වැඩ වර්ජනයේ බලපෑම මත වැඩවර්ජනයට පෙර රු. 1000/= ක දීමනාවකුත් අපට දිනාගත හැකිවිය. පසුව 2010 අය වැයෙන් රු. 750/= ක දීමනාවක්ද වැටුපට එකතු කරන ලද අතර 2011 අයවැයෙන් රු. 600/= ක දීමනාවක් හා 5% ක තවත් දීමනාවක් ලෙස රු. 586.50 අවම වැටුප් ලබන රජයේ සේවකයින්ට ලබාදෙන ලදී. දැන් මෙවර අයවැයෙන් ලබාදුන් 10% ක දීමනාව ලෙස රු. 1173/= ක් හිමි වන අතර ඒ අනුව මෙතෙක් ලැබූ දීමනා සියල්ල එකතු කළ විට රු. 7609.50 දීමනාවක් වැටුපට එල්ලෙයි.

අප වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස විiාත්මක ලෙස සංඛ්‍යා ලේඛන ගලපා වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියත් ඔබතුමාගේ ආණ්ඩුවට වසරකට වැඩිකල හැක්කේ මෙවැනි ඉතාම සොච්චම් දීමනාවක් පමණක් බව දැන් ඉතාම පැහැදිලිය. එබැවින් මෙවර අයවැය යෝජනා 3 වැනි වර කියවා සම්මත කර ගැනීමට පෙර අවම වශයෙන් දැනට වසර 6ක් තිස්සේ වැටුපට එල්ලා ඇති රු. 7609.50 ක දීමනාව මූලික වැටුපට එකතු කර රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රු. 11730/= සිට රු. 19339.50 ක් කරන ලෙස අප ඉල්ලා සිටිමු.

එසේම පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳව අයවැයේ කිසිදු සඳහනක් කර නොමැති අතර සාමූහික ගිවිසුම් වලින් වැටුප් වැඩිවන ආයතන කිහිපයක් හැරෙන්නට සාප්පු හා කාර්යාල ඇතුළු සුළුපරිමාන පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ට වසර ගණනාවක සිට කිසිදු වැටුප් සහනයක් ලැබී නොමැත. 2005 අයවැයෙන් පමණක් අයවැය සහන දීමනාවක් ලෙස රු. 1000/= ක් පෞද්ගලික අංශයට ලබාදුන් අතර එයද සියලූම පෞද්ගලික ආයතන සේවකයින්ට ලැබුනාදැයි සැක සහිතය. එබැවින් ඉතාමත් ආර්ථික දුෂ්කරතාවන් වලට මුහුණපා සිටින පෞද්ගලික අංශයේ සාතිශය බහුතරයක් කම්කරුවන්ට සහනයක් ලබාදීමට අයවැය වාර්තා සම්මත කර ගැනීමට පෙර ඔබතුමා කටයුතු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

අවසාන වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සහනයක් හෝ ලබාදීමට අසමත් වන්නේ නම් නොබෝ දිනකින් වැඩකරන ජනතාවගේ දැවැන්ත අරගලයක් ඇතිවීම වැලැක්විය නොහැකි බවයි.

No comments:

Post a Comment