Wednesday, October 19, 2011

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවාහැරියාට විතරක් මදි


මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදීමෙන් පසු ප්‍රතිකාර ලැබූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේය. මෙහිදී අකාර්යක්ෂමතාව  මත පදනම්ව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක‍ෂ මණ්ඩලය වහා විසුරවා හරින ලදි. අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ජයවර්ධන පුර රෝහලේ අධ්‍යක‍ෂ ගමගේ මහතාට මාධ්‍ය වලට කතා නොකරන ලෙසට නියෝග කරන ලදි. නමුත් පසුව හෙලිවූයේ පැරණි අධ්‍යක්ෂක මණ්ඩලයේ දූෂණ වංචා නිසා මෙම විසුරුවා හැරීම සිදුවූ බවයි.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේ විසුරුවා හැරීම සම්බන්ධව කරුණු දැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවක් 17 දින ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. සමස්ත ලංකා සුවසේවා සංගමය මගින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හැරීමට කටයුතු කළ නමුදු ඔවුන්ට එරෙහිව එල්ල වී තිබුණු දූෂණ, අක්‍රමිකතා චෝදනා සඳහා එය පමණක් ප්‍රමාණවත් නොවන බව එහිදී ඔවුහු අවධාරණය කලේය.ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිකිරීම් කටයුතු වලට අදාළව කෝටි 2500 ක පමණ මුදලක් ද, වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීම් වලට අදාළව කෝටි 2 1/2 ක පමණ මුදලක්ද වංචා කළ බවට හිටපු සභාපතිවරයාටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් එරෙහිව චෝදනා එල්ල වී තිබුණු බව ඔවුහු පෙන්වා දුන්නෝය.

එසේම නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කරන ලද මිලදී ගැනීම්,ගෙවීම් ආදියෙන්ද මහා පරිමාණ මූල්‍ය වංචා සිදුව ඇති බවත්,වෘත්තීය ගාස්තු වශයෙන් අය කරන ලද මිලියන 130 පමණ මුදලක් නිසි පරිදි රජයේ ගිණුමට බැරවිය යුතුව තිබුණත් ඒවා ඉහළ පෙළ නිලධාරීන් කිහිපදෙනකු අතරේ බෙදී ගොස් ඇති බවත් ඔවුහු අවධාරණය කළහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති කෝටි 500 ට අධික අක්‍රමිකතා සම්බන්ධයෙන් තම වෘත්තීය සමිතිය මගින් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්,එහි වැඩි වශයෙන්ම අන්තර්ගත වන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සිදුව ඇති දුෂණ ,වංචා හා අක්‍රමිකතා බව කුමාරසිංහ මහතා කියා සිටියේය.

කාලයක් පුරා ඕනෑම රෝගියෙකුට රුපියල් 200 ක් වැනි වියදමකින් තමන්ගේ මූලික ඖෂධ ටික ලබාගැනීමට දී තිබූ සහනය ඉවත් කරමින් රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිතුමනාපෙට රෝගීන්ගෙන් මුදල් ගසාකන්නට අවස්ථාව උදාකරගත් බවද ඔහු සිහිපත් කළේය.
එසේම රෝහල් කාර්ය මණ්ඩලයට කාලයක් තිස්සේ නොමිලේ ලැබුණු කිරි තේ කෝප්පයද කප්පාදු කිරිමට තරම් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය නීච වී තිබුණු බව හෙතෙම අවධාරණය කළේය.මෙම රෝහල් සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මූල්‍ය අක්‍රමිකතාවන් හා වංචාවන් කොතෙක්ද යන්න ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූල්‍ය වංචා කෝප් වාර්තාවේ 9 වන ස්ථානයට ස්ථානගතවිමෙන්ම පැහැදිලිවන බවත්,2009 මැයි මාසයේ පත්කරන ලද කමිටුවක් මගින් ඒ වසරේම ඔක්තෝම්බර් මාසය වන විට මොවුන්ගේ අක්‍රමිකතාවන් තහවුරු කෙරුණු වාර්තාව අමාත්‍යවරයාට ලබාදී තිබුණත් මොවුන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව කුමාරසිංහ මහතා චෝදනා කළේය. එකී කමිටු නිර්දේශ වලට අනුවද එම සභාපතිවරයාගෙන් හෝ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අයවිය යුතු මුදල් අය කරගෙන නොමැති බවත්,එකී කමිටුවේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වී නොමැති බවත් හෙතෙම පෙන්වාදෙයි.

මේ සා මහා පරිමාණ වශයෙන් කෝටි ගණනින් මුදල් වංචා හා අක්‍රමිකතා සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හිටපු සභාපතිවරයාට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් නොගෙන ඔවුන් ඉවත් කිරිමට කටයුතු කිරීමෙන් එකී වංචාකරුවන් ආරක්ෂා කිරිමට රජය පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment