Sunday, January 29, 2012
සපිරිපාසැල් ව්‍යාපෘතිය - නිදහස් අධ්‍යාපනය වලලනවා
lankahotnews.org
වර්තමාන ආණ්ඩුව මේ වසරේ සිට ක්‍රියාත්මක කරන සපිරිපාසල් 1000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමේදී එයට අයත් නොවන පාසල් 4000කට වැඩි ප්‍රමාණයක් වැසීයාමට ඉඩහැර අධ්‍යාපනය පෞද්ගලීකකරනය කිරීමේ වැඩසටහන වහාම අත්හිටවියයුතු බව ජනතාවිමුක්ති පෙරමුණ අවදාරනය කරයි.
අද (29) උදේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප්‍රධානකාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දේශපාලන මණ්ඩල සාමාජික අනුර කුමාර දිසානායක මහතා මේබව පැවසීය. මෙම අවස්ථාවට මධ්‍යමකමිටු සමාජික, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාද සහභාගීවිය.
එක් සපිරි පාසලකින් උපරිම පෝෂිත පාසල් ගණන 5ක් වන විට මේ යටතේ මුළු ලංකාව පුරාම ආවරනය වන්නේ පාසල් 5000ක් බවද ඉතිරි පාලස් 4000ට වැඩි ප්‍රමාණය සම්පත් නොලැබීමෙන් ඉබේම වැසීයාමට මේ ක්‍රමය යටතේ ඉඩ සැලසෙන බව පෙන්වාදුන්නේය.
එම සාකච්ඡාවේදී අනාවරණය කළ කරුණු මෙසේය.
අධ්‍යාපනයේ අරමුණ ඉදිරියට යාම, හැකියාවන් වර්ධනය කර ගැනීම, සුරක්‍ෂිත ජීවිතයක් පවත්වාගෙන යාම, වශයෙන් අර්ථ කථනය කරගත හැකිය. අද වන විට අපේ රටේ මතුවී තිබෙන විශාල අධ්‍යාපන තරඟය හමුවේ දරුවන් බිහිකළයුතු දිනය කලින් සැලසුම් කර සැත්කමකින් දරුවන් බිහිකිරිම දක්වා තත්වයකට වර්ධනය වී තිබෙනවා. දුප්පත්, පොහොසත් සෑම දෙමාපියකුම බලාපොරොත්තු වන්නේ තම දරුවාට උසස් අධ්‍යාපන මට්ටමක් ලබාදීමට. නමුත් අපේ රටේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? සාමාන්‍ය පෙළ සමත්වීම 50%ටත් අඩු මට්ටමක්, උසස් පෙළ සමත් වන්නන්ගෙන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 20,000 ක් පමණ. දැන් ආණ්ඩුව මැදිහත් වීමෙන් රටේ අධ්‍යාපනය සම්බන්ධ ගැටළු ගණනාවක් ඇතිකර තිබෙනවා.
1. සම්පත් බෙදීයාමේ විෂමතාව.
2. අධ්‍යාපන ප‍්‍රතිපතත්තියක් නැති ගැටළුව.
3. පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුවට අධ්‍යාපනය බෙදීමෙන් ඇතිවී තිබෙන ගැටළුව.
4. විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීමේ ගැටළු.
5. පළමු වසරට ලමුන් ඇතුලත් කරගැනීමේ ගැටළු මූලිකව හදුනාගත හැකිය.
මෙවැනි සංකීර්ණ ගැටළු ගණනාවකට අධ්‍යාපනය ඇද දමා අවසන්. මේ ප්‍රශ්නවල මූලික පදනම වන්නේ අධ්‍යාපනය සඳහා සම්පත් බෙදාහැරීමයි. දියුණු රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යපනය සඳහා වෙන්කර ඇති පංගුව ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ 5.45%ක්, කැනඩාව 4.91%, ස්විස්ටර්ලන්තය 5.18%ක්, බි‍්‍රතාන්‍ය 5.46%ක් වශයෙන් ඉහල දායකත්වයක් සපයනවා.
ශී‍්‍ර ලංකාවට සමාන සාක්‍ෂරතාවයක් තිබෙන රටවල අධ්‍යාපනය සඳහා වෙන්කිරීම දළ දේශීය නිෂ්පාදිතයෙන් මෙසේය. චීනය 1.9%යි මැලේසියාව 4.54%, තායිලන්තය 4.7%, සිංගප්පූරුව 3.0%ක් වශයෙන්.
ඒක පුද්ගල ආදායම ලංකාවට සමාන රටවල වෙන් කිරීම මෙසේය.මොරොක්කෝව 5.56%, ඇංගෝලාව 2.64%, ඊජිප්තුව 3.76%, ගෝතමාලාව 3.19%, ඒ වගේම අපට සමාන ඒකපුද්ගල ආදායමක් ඇති දකුණු ආසියානු කලාපෙයේ ඉන්දියාව 3.07%, පකිස්තානය 2.67%, බංගලාදේශය 2.39%, නේපාලය 3.96%ක් වෙන්කරන අතර ශී‍්‍ර ලංකාවේ පාසැල් අධ්‍යාපනය සඳහා 0.49%. උසස් අධ්‍යාපනය, පාසැල් අධ්‍යාපනයේ එකතුව 2010 වසරදී 1.1%කි.
මුලින්ම සපිරි පාසැල් 1000ක් තෝරාගත් බව ආණ්ඩුව කියනාව. අපි ප‍්‍රශ්න කරන්නේ මේ තොරාගත් නිර්ණායකය කුමක්ද? ජන ඝණත්වය, භූගෝලීය පිහිටීම, ජන වර්ගවල විසිරීම, මේ ආදී කිසිවක් සැලකිල්ලට ගෙන නැහැ. දේශපාලකයින්ගේ අවශ්‍යතාවය මත සපිරි පාසැල් ගොඩනගලා. එයින් අවුල් ජාලාවක් බවට පාසැල් අධ්‍යාපනය පත් කරලා. පහුගිය දිනවල මේ ව්‍යාපෘතියට විරුද්ධව පෙළපාලි වර්ග දෙකක් පැවැත්වුණා. එකක් සපිරි පාසැල් එපා යනුවෙන්. අනෙක සපිරි පාසැල් ඕනෑ යනුවෙන්.
මේ නව යෝජනා ක‍්‍රමය යටතේ ඇතිවන මූලිකම ප‍්‍රශ්නය සඟවා තිබෙනවා. දැනට පාසැල් 9800ක් තිබුණත් සපිරි පාසැල් ක‍්‍රමය යටතේ ආවරණය වන්නේ පාසැල් උපරිම 5000ක්. ඉතිරි පාසැල් 4000ට වෙන්නේ කුමක්ද? මෙය පාසැල් සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. එයින් සිදුවෙන්නේ පාසැල් ඉබේම වැසී යාමයි. අනෙක් පැත්තෙන් මේ වැඩසටහනට අවුරුදු 5ක් යනතුරු එක් සපිරි පාසැලකට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ 600යි. මෙය කොතෙක් දුරට ප‍්‍රමාණවත් වෙයිද? මුළු පාසල් ව්‍යාපෘතියටම වෙන්කර ඇත්තේ ඩොලර් මිලියන 600යි. එයින් ඩොලර් මිලියන 350ක් අධාර වශයෙන් ලැබෙන බව ආණ්ඩුව කීවත් ඉතිරි ඩොලර් මිලියන 250 සොයාගන්නා විදිය ආණ්ඩවවත් දන්නේ නෑ. මුල් සැලැස්මක් නැති ඉලක්කයක් නැති මේ සපිරි පාසැල් ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්න අපි බලකරනවා. ඊට පස්සේ සපිරි පාසැල් තෝරාගැනීමේ පැහදිළි නිර්නායක ජනතාවට ඉදිරිපත් කර සංවාදයක් ඇතිවී පසුව කි‍්‍රයාත්මක කළ හැකියි. අනෙක් පැත්තෙන් මතුවන ප‍්‍රශ්නය ජාතික පාසැල් පද්ධතියට ඇතුළත් වන්නේ මේ රටේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ ජනාධිපතිවරයාගේ හෝ අධ්‍යෘපන ඇමතිවරයාගේ, වෙනත් ඇමතිවරුන්ගේ දරුවන් මේ පාසැල් වලට යන්නේ නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනය සුරක්‍ෂිතයි. විදේශීය හෝ පෞද්ගලික අධ්‍යාපනය ඔවුන්ට ලබාදෙනාව. ඒ අතර රටේජනතාවගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ ව්‍යාපෘතියක් බවට සපිරි පාසැල් ක‍්‍රමය දැනටමත් පත්වී අවසන්. ඒ නිසා මෙය වහාම අත්හිටුවිය යුතුයි කියන බලපෑම ජනතා විමුක්ති පෙරමුණේ අපි කරනවා.
අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ප‍්‍රතිපත්තියක් වශයෙන් එකඟ වී ඇත්තේ ඇයි කියන කාරණය අපි නිවැරදිව තේරුම් ගත යුතුයි. බටහිර දියුණු රාජ්‍යයන්ගේ ප‍්‍රාග්ධනය නිදහසේ අපේ රටට ගලා එන්න ඉඩ සලසා තිබෙනවා. සංචාරක හෝටල්, ගාමන්ට්, වෙනත් කර්මාන්ත ශාලා වගේම අද වන විට කෙසෙල් වගාවටත් විදේශීය ප‍්‍රාග්ධනය යොදා ගන්නවා. අධ්‍යාපන පෞද්ගලීකරණය ප‍්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව පිළිඅරගෙන තිබෙන්නේ මේ සඳහාත් විදේශීය ප‍්‍රාග්ධනයට ඉඩකඩ විවෘත කර දෙන්නයි. මෙම ප‍්‍රතිපත්තිමය එකඟතාවයට යටත්ව ජාතික අධ්‍යෘපනය නැත්නම් නිදහස් අධාපනය බිඳ වැටීමට සලස්වා පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට තිබෙන ඉල්ලූම වැඩි කිරීමෙන් විදේශීය ප‍්‍රාග්ධනය සඳහා වෙළඳපොල සකස් කිරීමේ කි‍්‍රයාමාර්ගයක ආණ්ඩුව සැලසුම් සහගතව යෙදී ඉන්නවාද කියන බරපතල ගැටළුව අපට මතුවෙනවා. විභාග ප‍්‍රශ්න පත‍්‍ර පිළිබඳ ප‍්‍රශ්නය, පාසැල් ඇතුළු අධාපනය බිඳවැටීම පිළිබඳ ප‍්‍රශ්නය වර්ධනය වීමට ඉඩ හැර ආණ්ඩුව අත්තනෝමතික ලෙස කටයුතු කිරීමෙන් පැහැදිළි වන්නේ පෞද්ගලික අංශයට වැඩිපුර ඉඩ හදාදෙමින් සිටින බවයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රජයේ රෝහල් බිඳ වැටීමට ඉඩ හැර පෞද්ගලික රෝහල් සඳහා ඉඩකඩ පුළුල් කිරීමට අනුග‍්‍රාහ දැක්වීමේ උදාහරණය අධ්‍යාපන ක්ෂේත‍්‍රයටත් සිදුකරන බව අපට පැහැදිළියි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment